අර්ධ අවසන් පූර්ව වටයට දිනය තීන්දුයි

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

530

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (28) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ Group A කාණ්ඩයෙන් පළමු ස්ථානය යුද හමුදා කණ්ඩායමත් දෙවැනි ස්ථානය NCC කණ්ඩායමත් සතු කර ගත්තා. Group B කාණ්ඩයෙන් රාගම ක්‍රිකට් සමාජයත් දෙවැනි ස්ථානය Tamil Union කණ්ඩායමත් සතු කර ගත්තා.

ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් පූර්ව වටයේ දී යුද හමුදාව සහ Tamil Union කණ්ඩායම මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත්, රාගම ක්‍රිකට් සමාජය සහ NCC කණ්ඩායම දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරග වැදීමට නියමිතයි.

මේ තෝරා ගැනීම් ප්‍රසාද ලකුණු මත සිදු වූවත් තරගාවලිය ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයෙන් ගිලිහී ගිය තරගාවලියක් බවට පත් වුනා. ඒ පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයන් සහ ඒ හේතුවෙන් ම අයහපත් තත්ත්වයට පත් ක්‍රීඩාංගණ හේතුවෙන්. මේ නිසා තරගාවලියේ Group A කාණ්ඩයෙන් පැවැත් වීමට නියමිතව තිබූ තරග 43ක් ද, Group B කාණ්ඩයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තරග 42ක් ද විසඳුමක් නොමැතිව අවසන් කිරීමට සිදු වූවා.

ඒ හේතුවෙන් වඩාත් නරක තත්ත්වය වන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවම තත්ත්වයෙන් වාර්තා වීමයි. මෙතෙක් තරග 300කට වැඩියෙන් පවත්වා ඇති තරගාවලියෙන් වාර්තා වන්නේ ශතක දෙකක් පමණයි. එහි පළමු වැනි ස්ථානය හලාවත මේරියන්ස් කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා සතු වුනා. ඔහු පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 106ක් ලබා ගත්තා.

ඔහුගේ ශතකය වාර්තා වී තෙවැනි දිනයේ දී BRC කණ්ඩායම නියෝජනය කළ එංගලන්තයේ 20 හැවිරිදි වමත් පිතිකරු Daniel Mousley  ද නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ලකුණු 105ක් ලබා ගනිමින් මේ දක්ෂතාව කළ දෙවැනියා වුනා.

පන්දු යැවීමේ දී ඉහළ ම දක්ෂතාව දැක් වූයේ Ace Capital කණ්ඩායමේ චානක කොමසාරුයි. ඔහු බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතරව පානදුර ක්‍රීඩා සමාජයේ නිමේෂ් විමුක්ති බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු17කට කඩුලු 6ක් ද, BRC කණ්ඩායමේ දුෂාන් හේමන්ත Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 28කට කඩුලු 6ක් දවා ගනිමින් කඩුලු ලබා ගැනීම් අතුරින් සම තැන් ලබා ගත්තා.

පළමු වටයේ දක්ෂතා මේ ලෙසින් දියාරු වී ගිය ද අවසන් පූර්ව වටයේ තරග දෙක සහ අවසන් මහා තරගයේ දී මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වඩාත් මතු වේ යැයි අප විශ්වාස කරමු.

එවන් බලාපොරොත්තු සහිත Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග කිහිපයේ ද උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<