ජාතික මහා ක්‍රීඩා උළෙලේ රග්බි ශූරතා බස්නාහිරට සහ දකුණට

1010

42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රග්බි තරග දින 2ක් පුරා කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී පිරිමි තරගාවලියේ රන් පදක්කම බස්නාහිර පළාත් කණ්ඩායමටත්, කාන්තා රන් පදක්කම දකුණු පළාත් ක්‍රීඩිකාවන්ටත් හිමි විය.

පසුගිය ලිපි: ඉසිපතන සහ කිංග්ස්වුඩ් අවසන් සටනට

මෙවර ජාතික මහා ක්‍රීඩා රග්බි තරගාවලිය සඳහා පළාත් 9ම නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් සහභාගී වූ අතර කාන්තා කණ්ඩායම් ඉදිරිපත්ව තිබුනේ පළාත් 3කින් පමණි. පිරිමි තරග අංශයේ මූලික වටයේ තරග වලින් අනතුරුව දිවයිනේ රග්බි ක්‍රීඩාව වඩාත්ම ප්‍රචලිත පළාත් වන බස්නාහිර සහ මධ්‍යම පළාත් කණ්ඩායම් රන් පදක්කම් සටනට සුදුසුකම් ලැබීය.

මධ්‍යම පළාත රග්බි ආධිපත්‍ය පෙන්වමින් තරගයේ දෙවන මිනිත්තුවේදීම උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. ප්‍රතිවාදීන් නිසි පරිදි තරගයට අවතීර්ණ වීමටත් පෙර තිවංක බණ්ඩාර පන්දුවත් රැගෙන උත්සාහක දිනුම් රේඛාව පසු කර ගියේ මධ්‍යම පළාත ලකුණු 5 – 0 ක් ලෙස පෙරමුණට ගෙන එමිනි.

කෙසේ වෙතත් එම ආධිපත්‍ය දිගටම රඳවා ගන්නට ඔවුන්ට නොහැකි වූයේ නිසි කාලයට පසුව සිදු කල ආක්‍රමණයක් (Late Tackle) හේතුවෙන් සුධාරක දික්කුඹුර වෙත කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු වරයා පියවර ගැනීමත් සමගයි. පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී සිදුවූ මෙම සිදුවීමෙන් මධ්‍යම පළාත් කණ්ඩායමට ක්‍රීඩකයෙක් අහිමි වීමේ අවාසිය මනාව ප්‍රයෝජනයට ගත් බස්නාහිර ක්‍රීඩක පියුම් ජයසිංහ ප්‍රතිවාදී ආරක්ෂක පෙළ බිඳ දමන්නට සමත් වූ අතර එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනයද නිවැරදිව එල්ල කරන්නට ගොඩ්ෆ්‍රි වයිට් කරයුතු කරන ලදී.

දෙවන අර්ධයේ මුල් කොටස තුල බස්නාහිර ක්‍රීඩකයන් තම ආධිපත්‍ය දැඩි කලේ මධ්‍යම ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු හුවමාරුවකින් පන්දුව සොරාගත් අමිත් මධුශංක බස්නාහිර ලකුණු පුවරුව තවත් ඉහල දැමීමත් සමගයි. නමුත් ඉන් මිනිත්තු කිහිපයකට පසුව මධ්‍යම පළාත් කණ්ඩායමෙන් ක්‍රියාත්මක වූ තිවංක බණ්ඩාර ඔහුගේ දෙවන උත්සාහක දිනුම වාර්තා කල අතර කෝසල පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු සම කරන්නට සමත් විය.

කරට කර සටනක අවසනයේ ක්‍රීඩකයන් අනවශ්‍ය ආක්‍රමණශීලී ස්වභාවයක් පෙන්නුම් කල අතර එක් මිනිත්තුවක් තුල විනිසුරු වරයාට කහ කාඩ්පත් 3ක් නිකුත් කරන්නට සිදුවීම කැපී පෙනුනි. ඉන් දෙකක්ම හිමිවූයේ මධ්‍යම පළාත් ක්‍රීඩකයන්ට එරෙහිවයි. තරගය අවසන් වීමට මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබියදී යලිත් වරක් මධ්‍යම පළාතේ ක්‍රීඩකයෙක් අඩුවීමෙන් ප්‍රයෝජන ගත් බස්නාහිර ක්‍රීඩකයන් ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එහි අයිතිය හිමිවූයේ ශම්රි බූරා හටයි.

මේ අනුව බස්නාහිර කණ්ඩායම රන් පදක්කමට හිමිකම් කීවේ මේ තරගය ලකුණු 17 -12 ක් ලෙස ජය ගනිමිනුයි.

කාන්තා අංශයේ රන් පදක්කම් සටනට සුදුසුකම් ලැබුවේ සබරගමු සහ දකුණු පළාත් කණ්ඩායම් ද්විත්වයයි. අවසන් මොහොත දක්වා දෙපසට දෝලනය වූ මේ තරගයේ පළමු අර්ධය අවසන් වනවිට දකුණු පළාත් ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටියේ ලකුණු 12 – 00ක් ලෙසයි. නමුත් දෙවන අර්ධයේදී නැවත තරගයට පිවිසි සබරගමුව ක්‍රීඩිකාවන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කල අතර ඔවුන් තරගයේ පෙරමුණ ගැනීම වැළකී ගියේ දෙවන ප්‍රවර්තනය අසාර්ථක වීම  හේතුවෙනුයි.

මේ අනුව තරගයේ නියමිත කාලය ලකුණු 12 – 12ක් ලෙස සමව අවසන් වූ අතර තීරණයක් සඳහා අතිරේක කාලය භාවිත කිරීමට විනිසුරුවන්ට සිදුවිය. ඉතා තියුණු සටනකින් පසුව තම ජාත්‍යන්තර අත්දැකීම්ද මනාව ප්‍රයෝජනයට ගත් දුලානි පල්ලිකොන්දගේ තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් දකුණු පළාත් කණ්ඩායම රන් පදක්කම වෙත ගෙන යන්නට සමත් විය.

ලෝකඩ පදක්කම් සටනේදී සබරගමු පළාත් කණ්ඩායම ලකුණු 10 – 07 ක් ලෙස පරාජය කරන්නට දකුණු පළාත් පිරිමි කණ්ඩායම සමත් වූ අතර කාන්තා අංශයේ ඉතිරි එකම කණ්ඩායම වූ බස්නාහිර පලාතට එහි ලෝකඩ පදක්කම හිමි විය.

බස්නාහිර පළාත් පිරිමි කණ්ඩායමේ නායක රමේෂ් ප්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් දකුණු පළාතේ දුලානි පල්ලිකොන්දගේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගන්නා ලදී.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට