Tier B ශූරතාව Galle CC දිනා ගනී

SLC Invitational Tier B - 3 Days Tournament 2024

167
SLC Invitational Tier B - 3 Days Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ආරාධිත කණ්ඩායම් අතර පැවැති Tier B තෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට Galle ක්‍රිකට් සමාජය පසුගියදා සමත් වූවා.

කණ්ඩායම් 12ක ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරයන් තීරණය කෙරුණේ එක් එක් කණ්ඩායම සමඟින් පැවැති තරගවල දී හිමි වූ ප්‍රසාද ලකුණු ගණනය කිරීමෙන්. ඒ අනුව තරගාවලිය අවසන් වන විට ගාලු ක්‍රීඩකයෝ පූර්ණ ජයග්‍රහණ 7ක්, පළමු ඉනිමේ ජයග්‍රහණයක්, නොවිසඳුණ තරගයක්, පූර්ණ තරග පරාජයක් සහ පළමු ඉනිමේ පරාජයක් ලෙසින් තරග අවසන් කරමින් ප්‍රසාද ලකුණු 134.555ක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කීවා.

එහි 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 129.685ක් ලබා ගත් Leo ක්‍රිකට් සමාජයට ද සහ තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 117.705ක් ලබා ගත් Malay ක්‍රිකට් සමාජයට ද හිමි වුණා.

තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථාන 4ට පත් කණ්ඩායම්වලට ඉදිරි වසරේ දී Tier B කාණ්ඩය අහිමි වන අතර එසේ පහත වැටුණ කණ්ඩායම් වූයේ Kandy, Lankan, Air Force සහ Old Dharmapalians යන කණ්ඩායම්.

ගාලු ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ගමන් මඟ

  Teams Results Ground
1 Leo CC Galle ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්. MRICS හම්බන්තොට
2 Moratuwa SC තරගයේ විසඳුමක් නෑ. මොරටුව
3 Malay CC Galle ක්‍රිකට් සමාජයට ලකුණු 58ක ජයක්. SLAF කටුනායක
4 Old Dharmapalians Galle ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයක්. MRICS හම්බන්තොට
5 Lankan CC Galle ක්‍රිකට් සමාජයට ලකුණු 136ක ජයක්. GBCS කරන්දෙණිය
6 Kandy CC Galle ක්‍රිකට් සමාජයට ලකුණු 22ක ජයක්. සාලියපුර
7 United Sothern SC තරගයේ විසඳුමක් නෑ. MRICS හම්බන්තොට
8 Sebastianites C & AC Galle ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයක්. MRICS හම්බන්තොට
9 SL Army SC තරගයේ විසඳුමක් නෑ. SLAOCSC දොඹගොඩ
10 Air Force SC Galle ක්‍රිකට් සමාජයට ලකුණු 153ක ජයක්. SLAF කටුනායක
11 SL Navy SC SL Navy  කණ්ඩායමට ලකුණු 155ක ජයක්. SLNG වැලිසර

ගාලු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂතා දැක් වූවන් අතුරින් ඉහළින් ම සටහන් වෙන්නේ බුද්ධික හසරංග ගේ නමයි. 38 වැනි වියේ පසුවෙන බුද්ධික හසරංග මෙම තරගාවලියේ දී  Lankan ක්‍රිකට් සමාජයට එරෙහි ව පන්දු 67ක දී නොදැවී ලබා ගන්නා ලද අර්ධ ශතකයත් සමඟින් ඉනිම 19ක දී ලකුණු 504ක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතර ව ලිසුල ලක්ෂාන් Old Dharmapalians කණ්ඩායමට එරෙහි ව පන්දු 210ක දී ලබා ගන්නා ලද ලකුණු 141ත් සමඟින් ඉනිම 18ක දී ලකුණු 479ක් ද සහ අර්ධ ශතක 2ක් සමඟින් ඉනිම 20ක දී ලකුණු 453ක් ලබා ගත් අමිත් එරන්ද ද ගාලු ජයග්‍රහණය වෙනුවෙන් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දක්වනවා.

ගාලු ජයග්‍රහණයේ කඩුලු ලබා ගැනීමේ දී ඉදිරියෙන් ම පසුවෙන්නේ රජීව වීරසිංහ යි. ඔහු කඩුලු 63ක් ලබා ගනිමින් දක්ෂතා දක්වන ලද අතර එය තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දී සිව් වැනියට පෑ දක්ෂතාවයි.

ඊට අමතර ව 27 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන චානක දේවින්ද කඩුලු 59ක් ලබා ගනිමින් ද සහ 35 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන උෂාන් මනෝහර කඩුලු 21ක් ලබා ගනිමින් ද ගාලු ජයග්‍රහණයට උර දෙනවා.

ජයග්‍රාහී Galle ක්‍රිකට් සමාජය

බුද්ධික හසරංග (නායක), සදෙව් ඉඳුවර, අමිත් එරන්ද, ලිසුල ලක්ෂාන් (කඩුලු රකින්නා), දුලාජ් රණතුංග, හසිත සුරංග, හංසමාන ද සිල්වා, නිමන්ත ගුණසිරි, රජීව වීරසිංහ, චානක දේවින්ද, උශාන් මනෝහර, අමිත කෞශල්‍ය, චතූපම ගුණසිංහ, හිරුෂ පියුමාල්, සාලින්ද උශාන්, සමිත් ඉසුරු, සම්පත් පෙරේරා, සුභානු රාජපක්ෂ, තරිඳු රුක්ශාන්, තිලංක ද සිල්වා, විදුර ලක්ශාන් සහ විශ්ව රාජපක්ෂ.

නිලධාරීන්

සී. කේ. හේවාමාන්න (කළමණාකරු), ගයාන් සමීර (ක්‍රිකට් ලේකම්), හසිත රාජපක්ෂ (ප්‍රධාන පුහුණුකරු), සාලින්ද උශාන් (සහාය පුහුණුකරු), මනුක ගුණරත්න (ශාරීරික අභ්‍යාස පුහුණුකරු), කෞෂාල් ද සිල්වා (ලකුණු සටහන්කරු) සිරිපාල වීරතුංග (කණ්ඩායම් සහායක).

තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෝ

තරගාවලියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන් ම ලැයිස්තු ගත ව ඇත්තේ Air Force කණ්ඩායමේ මධුශංක ප්‍රේමරත්න. ඔහු මෙවර තරගාවලියේ දී ඉනිම 20ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 422ක් සහ කඩුලු 70ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඉන් අනතුරු ව මේ ලැයිස්තුව හා එක් වෙන්නේ SL Army කණ්ඩායම නියෝජනය කළ සීක්කුගේ ප්‍රසන්න යි. ඔහු පිතිකරුවෙක් ලෙසින් ඉනිම 15ක දී ලකුණු 435ක් ලබා ගන්නේ අර්ධ ශතක 3ක් ද තම ලකුණු අතරට එක් කර ගනිමින්.

Sebastianites කණ්ඩායමට එරෙහි ව පන්දු 84කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද ලකුණු 95 ඔහුගේ මෙම තරගාවලියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.

පන්දු යැවීමේ දී කඩුලු 43ක් ද ලබා සීක්කුගේ ප්‍රසන්න, තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ගන්නේ Malay ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව ලකුණු 100කට දවා ගත් කඩුලු 13යි. එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 45කට දවා ගත් කඩුලු 7 ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වූවා.

අනතුරු ව මෙම ලැයිස්තුව හා එක්වෙන්නේ තරගාවලියේ වැඩිම ලකුණාලාභියා වන කවිඳු එදිරිවීර යි. ඔහු කඩුලු 25ක් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙන අතර ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ Moratuwa ක්‍රීඩා සමාජයට එරෙහි ව ලකුණු 62කට දවා ගත් කඩුලු 5යි.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන්

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ United Sothern කණ්ඩායමේ කවිඳු එදිරිවීර. 25 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරුවෙක් වන ඔහු, මෙම තරගාවලියේ දී ඉනිම 18ක දී ලකුණු 659ක් ලබා ගනිමින් එම ස්ථානයට පත් වෙනවා.

ඔහුගේ ඉනිම් අතර Sebastianites කණ්ඩායමට එරෙහි ව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ දී ලබාගත් ලකුණු 126 ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වෙනවා. එම ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 280ක් වැය කරන ලද අතර ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එක් කරනවා.

ඊට අමතර ව ඔහුගේ ඉනිම් අතර Old Dharmapalians, Malay, Lankan, Leo සහ SL Navy කණ්ඩායම්වලට එරෙහි ව ලබා ගන්නා ලද අර්ධ ශතක 5ක් ද ඇතුලත්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 47.07ක්.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් වෙන්නේ Lankan ක්‍රිකට් කණ්ඩායමේ 39 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු අමිල සඳරුවන්. ඔහු මෙම තරගාවලියේ දී ඉනිම 19ක දී ලකුණු 649ක් ලබා ගන්නේ Moratuwa ක්‍රීඩා සමාජයට එරෙහි ව නොදැවී වාර්තා කරන ලද ලකුණු 148ක් සහ Kandy, Leo සහ Air Force කණ්ඩායම්වලට වාර්තා කරන ලද අර්ධ ශතක ත්‍රිත්වයක් ද සමඟිනුයි.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි වෙන්නේ Air Force කණ්ඩායමේ අශේන් මෙන්ඩිස් වෙතයි. ඔහු ඉනිම 21ක දී අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 632ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කියනවා. ඔහුගේ ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ Sebastianites කණ්ඩායමට එරෙහි ව පන්දු 127ක දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 74යි.

මෙම ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය ඉනිම 18ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 628ක් ලබා ගත් Leo ක්‍රිකට් සමාජයේ හිරුණ සිගේරා ද සහ 5 වැනි ස්ථානය ඉනිම 21ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 617ක් ලබා ගත් Air Force කණ්ඩායමේ ලෙස්ටර් ජයවීර ද වෙන් කර ගන්නවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්

මෙම ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත් වෙන්නේ Moratuwa ක්‍රීඩා සමාජය නියෝජනය කළ 42 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන ගයාන් සිරිසෝම. ඔහු මෙම තරගාවලියේ දී ඉනිම 18ක දී කඩුලු 77ක් දවා ගනිමින් මෙම අසුනට හිමිකම් කිව්වා.

ඔහුගේ කඩුලු ලබා ගැනීමේ අතර තරගයක ඉහළ ම දක්ෂතාව බවට පත් වූයේ Air Force කණ්ඩායමට එරෙහි ව ලකුණු 129කට දවා ගත් කඩුලු 11යි. ඊට අමතර ව Kandy සහ Leo කණ්ඩායම්වලට එරෙහි ව ද කඩුලු 10ක් බැගින් දවා ගත් අවස්ථා 2ක් ද ඊට ඇතුලත්.

ඔහුගේ ඉනිමක හොඳම දක්ෂතාව බවට පත් වෙන්නේ Old Dharmapalians කණ්ඩායමට එරෙහි ව ලකුණු 45කට දවා ගත් කඩුලු 7යි. ඊට අමතර ව කඩුලු 5ක් බැගින් දවා ගත් අවස්ථා 6ක් ද ඔහුගේ මෙම දක්ෂතා අතරට ඇතුලත්.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් SL Navy කණ්ඩායමේ ලක්ෂිත මදුශංක ද මෙම තරගාවලියේ දී කඩුලු 77ක් ලබා ගනිමින් සම අසුන් හිමිකර ගත්ත ද කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය ගණනය කිරීමේ දී ඔහුට හිමි වූයේ 2 වැනි ස්ථානයයි.

ඔහුගේ තරගයක දක්ෂතා අතර ඉහළින් ම සටහන් වෙන්නේ Sebastianites කණ්ඩායමට එරෙහි ව ලකුණු 101කට දවා ගත් කඩුලු 15යි. එම දක්ෂතාව මෙවර තරගාවලියේ දී පන්දු යවන්නෙක් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.

එමෙන් ම ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 55කට කඩුලු 9ක් දවා ගන්නා ලද එය ද මෙම තරගාවලියේ පන්දු යවන්නෙක් ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා. ඔහුගේ දක්ෂතා අතර ඉනිමක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 8ක් ද ඇතුලත්.

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 3 වැනි ස්ථානය පත් වූයේ Air Force කණ්ඩායමේ 35 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන මධුශංක ප්‍රේමරත්න. ඔහු ඉනිම 19ක දී කඩුලු 70ක් දවා ගනිමින් මෙම අසුනට හිමිකම් කියනවා.

ඔහුගේ කඩුලු දවා ගැනීම් අතර තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ Lankan ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 98කට දවා ගත් කඩුලු 14යි. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ද එම තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 47කට දවා ගත් කඩුලු 8යි.

ඊට අමතර ව තරගයක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 6ක් ද ඔහුගේ කඩුලු ලබා ගැනීමෙ ගිණුමේ දැක්වෙනවා.

තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 4 වැනි අසුන ඉනිම 17ක දී කඩුලු 63ක් ලබා ගත් Galle ක්‍රිකට් සමාජයේ 37 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යැවූ රජීව වීරසිංහ ද සහ 5 වැනි ස්ථානය ඉනිම 19ක දී කඩුලු 60ක් ලබා ගත් SL Navy කණ්ඩායමේ 27 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන ගිහාන් ද සොයිසාට ද  හිමි වුනා.

තරගාවලියේ ශූරයන් වූ Galle ක්‍රිකට් සමාජයට සහ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<