NSL එක්දින අවසන් සටනට මහනුවර සහ යාපනය සීරුවෙන්

Dialog-SLC නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

1220
Kandy and Jaffna all set for Dialog

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දින 27ක් තිස්සේ පැවැත්වුණු Dialog-SLC නැෂනල් ප්‍රිමියර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (19) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලිය මෙයයි.

ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ දී තරග 8න් 6ක ජය වාර්තා කරමින් මහනුවර කල් තියාම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි අතර, මූලික වටය යටතේ පැවති තරග 8න් 5ක ජය වාර්තා කර ගත් යාපනය අවසන් මොහොතේ දී කොළඹ පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයින් වෙත පෙරහුරුව ලබා දීම ද මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික අරමුණක් වන හෙයින් විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම අවසන් මහා තරගය දැඩි උද්‍යෝගිමත් තරගයක් වනු නොඅනුමානයි.

“ජැෆ්නා ගත්තොත් ඉතාම හොඳ කණ්ඩායමක්. එයාලගේ ක්‍රීඩකයින් කීප දෙනෙක්ම ජාතික කණ්ඩායමට ගියා වගේම අපෙත් ක්‍රීඩකයින් දෙන්නෙක් ජාතික කණ්ඩායමට ගිහිල්ලා තියෙනවා. නමුත් මං හිතන්නේ එයාලා නැති වුනත් කණ්ඩායම් දෙකේම හොඳ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. ඒ නිසා අපිට 19 වැනිදට (හෙට) හොඳ තරගයක් බලාගන්න පුලුවන් වෙයි” යැයි අවසන් මහා තරගය පිළිබඳව අදහස් දක්වමින් මහනුවර නායක කමිඳු මෙන්ඩිස් පවසා සිටියා.

එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා වන ජෛව බුබුල (Bio Bubble) සඳහා ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ ලහිරු තිරිමාන්නට අමතරව ආධුනික දඟපන්දු යවන්නකු වන අෂේන් ඩැනියෙල්ව මුදා හැරීම නිසා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමිව යනවා.

මෙවර තරගාවලියේ තරග 8කට ක්‍රීඩා කරමින් ලකුණු 461ක් ලබාගෙන තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින යාපනය නායක ධනංජය ද සිල්වා අවසන් මහා තරගයට නොමැති වීම නිසා කණ්ඩායම මෙහෙයවීම කඩුලු රකින ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම විසින් සිදු කරනු ඇත.

මෙවර තරගාවලියේ තරග 8කට ක්‍රීඩා කර ඇති දකුණතින් පන්දුවට පහර දෙන සදීර තරග 8ක දී ලකුණු 276ක් ලබා දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ සිටිනවා. ඔහුට අමතරව සන්තුෂ් ගුණතිලක ලකුණු 229ක් ලබා වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයේ පසුවෙනවා.

අවසන් මහා තරගය ඉලක්ක කර ගනිමින් මහනුවර ක්‍රීඩකයින් 17 වැනිදා රාත්‍රියේ විදුලි ආලෝක මධ්‍යයේ සිය පුහුණුවීම් සිදු කරද්දී, යාපනය අද (18) රාත්‍රියේ දී විදුලි ආලෝක මධ්‍යයේ සිය පුහුණුවීම්වල නිරත වුනා.

අවසන් තරගය පිළිබඳව අදහස් දක්වා සිටි යාපනය නායක සදීර සමරවික්‍රම පවසා සිටියේ,

“අපි හොද තරග කීපයක් මේ තරගාවලිය තුළ ක්‍රීඩා කළා. ඒ නිසා අපි මේ තරගාවලියේ හොද තැනක ඉන්නවා. අපේ කණ්ඩායමේ හැමෝගෙම මානසික මට්ටම ඉතා ඉහළ තැනක තියෙනවා. අපි හිතනවා අපිට අවසන් තරගයේ දී හොඳ තරගයක් බලාගන්න පුළුවන් වෙයි කියලා” යනුවෙනුයි.

මහනුවර සතු ප්‍රධානතම ක්‍රීඩකයා වන නිරෝෂන් දික්වැල්ල තරග 7ක දී ලකුණු 339ක් සමඟ තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ සහභාගීත්වය මහනුවරට අහිමි වීම විශාල පාඩුවක්.

එහෙත් තරග 7ක දී ලකුණු 316ක් ලබා සිටින ඕෂද ප්‍රනාන්දුට අමතරව ලකුණු 258ක් ලබා සිටින සහන් ආරච්චිගේ, මෙන්ම ලකුණු 222ක් ලබා සිටින කඩුලු රකින ආරම්භක පිතිකරු ලහිරු උදාර ද මහනුවර පිතිකරණ තුරුම්පු වෙනවා.

පන්දු යැවීම පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින දකුණතින් පා දඟපන්දු යවන පුලින තරංග මහනුවර සතු ප්‍රධානම අවිය වෙනවා. තරග 7කට ක්‍රීඩා කර සිටින පුලින මේ වන විට මේ තරගාවලිය තුල දී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 18ක්.

යාපනය කණ්ඩායමේ පන්දු යවන්නන් අතර කැපී පෙනෙන ධනංජය ද සිල්වාට අමතරව තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්ව සිටින අනෙක් එකම පන්දු යවන්නා වන්නේ නුවන් ප්‍රදීප්. ඔහු තරග 6ක දී දැනට කඩුලු 09ක් බිඳ හෙළීමට සමත්ව තිබෙනවා.

අවසන් මහා තරගය සඳහා අපේක්ෂිත කණ්ඩායම්,

මහනුවර – ලහිරු උදාර (කඩුලු රකින්නා), කවීන් බණ්ඩාර, ලසිත් කෘස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස් (නායක), ඕෂද ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, පුලින තරංග, තික්ෂිල ද සිල්වා, අසිත ප්‍රනාන්දු, නිපුන් රන්ශික, සචිඳු කොළඹගේ

යාපනය – සදීර සමරවික්‍රම (නායක/කඩුලු රකින්නා), නිශාන් මදුෂ්ක, දමිත සිල්වා, සමින්ද ප්‍රනාන්දු, සන්තුෂ් ගුණතිලක, දුනිත් වෙල්ලාලගේ, නිමන්ද මදුශංක, රවිඳු ප්‍රනාන්දු, දිලුම් සුධීර, ප්‍රමෝද් මදුෂාන්, නුවන් ප්‍රදීප්.

දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් මහා තරගය හෙට දහවල් 2.15 සිට සජීව ලෙස ඔබ වෙතට සමීප කරන්නට ThePapare.com සූදානම්.

එසේම Dialog TV නාලිකා අංක 140, ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව සහ Dialog Viu ඔස්සේ ද මේ තරගය නැරඹීමට හැකියාව තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<