ජාතික වොලිබෝල් සංචිත ස්ථාපිත කිරීම ආරම්භ වේ

312
National Volleyball Tournament - selection games report

2017 වසර තුළ ශ්‍රී ලංකාවට යෙදෙන අන්තර් ජාතික වොලිිබෝල් තරගාවලි ඉලක්ක කරගනිමින් ජාතික වොලිබෝල් සංචිත ස්ථාපිත කිරීම හෙට (7) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.

පසුගිය ලිපි: තරුණසේවා රූපවාහිනි සුපර් ලීග් ශූරතාවන් යුධ හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර ඇති ආකාරයට මෙම වසරේ ආසියානු වොලිබෝල් කනිෂ්ඨ – යොවුන් හා ජාතික කාන්තා හා පිරිමි තරගාවලි හයකටත්, ආසියානු වෙරළ කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලි දෙකකටත් සහභාගී වීමට නියමිත වේ.

මෙලෙස පවත්වන සියලුම තේරීම් තරග, විවෘත තේරීම් තරග ලෙස පවත්වන අතර නියමිත වයස සම්පූර්ණ කරන දිවයින පුරා සිටින සියලූම වොලිබොල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඒ සඳහා සහාගීවීමට අවස්ථාව හිමි වන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් නාලක ශාන්තසිරි මහතා ThePapare.com සමඟ පැවසීය.

මෙම වසරේ ශ්‍රී ලංකාවට යෙදෙන පළමු අන්තර් ජාතික වොලිබෝල් තරගාවලිය මාර්තු මස 28 වැනිදා සිට අප්‍රේල් මස 07 වැනිදා දක්වා මියන්මාරයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය සඳහා සූදානම් කෙරෙන ජාතික සංචිතය තේරීම හෙට (7) සිට ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ග්‍රහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

“හෙට උදේ 8.30ට 19 න් පහළ බාලක තේරීම් තරගයෙන් මේ කටයුත්ත ආරම්භ කරනවා. මේකට එන්නේ පාසල් ක්‍රීඩකයින් ඒ නිසා පාසල් වයසේ ක්‍රීඩකයින්ගේ තේරීම් තරඟ හා පුහුණු සංචිත හදන‍කොට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලීමක් කලා. ඒ ගැන ඔවුන් සාකච්ඡා කරලා ඉදිරියේදී දැනුම් දේවි. ලබන බදාදා වෙනකොට 24 දෙනෙක් තෝරගෙන පුහුණුවක් ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ” යැයි  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු ලේකම් නාලක ශාන්තසිරි මහතා වැඩිදුරටත් ThePapre.com සමඟින් කියා සිටියේය.

මෙම වසරට නියමිත ආසියානු වොලිබෝල් තරගමාලාව ඉලක්ක කරමින් පවත්වන තේරීම් තරග සැලැස්ම පහතින් දැක්වේ.

වයස් කාණ්ඩය තරගාවලිය දිනය ස්ථානය
වයස 19න් පහළ බාලක ආසියානු වයස 19 න් පහළ බාලක වෙලිබෝල් තරගාවලිය ජනවාරි 7 ක්‍රීඩා අමාත්‍යාංශ ග්‍රහස්ථ ක්‍රීඩාංගණය
වයස 23න් පහළ කාන්තා ආසියානු වයස 23 න් පහළ කාන්තා වෙලිබෝල් තරගාවලිය ජනවාරි 15 ක්‍රීඩා අමාත්‍යාංශ ග්‍රහස්ථ ක්‍රීඩාංගණය
වයස 23න් පහළ පිරිමි ආසියානු වයස 23 න් පහළ පිරිමි වෙලිබෝල් තරගාවලිය ජනවාරි 21-22 හෙයියන්තුඩුව වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානය
වයස 21 න් පහළ කාන්තා/ පිරිමි ආසියනු වෙරළ වෙලිබෝල් විවෘත තරගාවලිය ජනවාරි 22 හෙයියන්තුඩුව වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානය
වයස 21 න් පහළ කාන්තා/ පිරිමි ආසියානු වයස 21 න් පහළ කාන්තා/පිරිමි වෙලිබෝල් තරගාවලිය ජනවාරි 22 හෙයියන්තුඩුව වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානය
විවෘත (කාන්තා/ පිරිමි) ආසියානු වෙලිබෝල් ශූරතාවය ජනවාරි 28- 29 ක්‍රීඩා අමාත්‍යාංශ ග්‍රහස්ථ ක්‍රීඩාංගණය

මෙම තේරීම් තරග පිළිබඳව 077 7864626 යන දුරකථන අංකය ඔස්සේ විමසිය හැකිය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට