අවිශ්කගෙන් ශතකයක් – SSC අවසන් තරගයට

Major Clubs Limited Over Tournament 2023/24

178

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ SSC සහ Colts කණ්ඩායම් අතර අද (14) අවසන් වූ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට SSC ක්‍රීඩකයෝ සමත් වූවා.

කොළඹ 07,  NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී SSC කණ්ඩායමේ නායක අවිශ්ක ප්‍රනාන්දු සටන්කාමී ඉනිමක නිරත වෙමින් SSC කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ, නිමාවූ Major Clubs තුන් දින ක්‍රිකට් තරගාවලියේ දී ද SSC කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන ගිය ගෞරවය නැවත වරක් කණ්ඩායමට ලබා දෙමිනුයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් Colts කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 236ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් SSC කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 18ක් ඉතිරිව තිබිය දී ලකුණු 240ක් ලබා ගත්තා.

SSC කණ්ඩායම:

අවිශ්ක ප්‍රනාන්දු (නායක), ධනුෂ්ක ගුණතිලක, ශෙවෝන් ඩැනියෙල්, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, රනුද සෝමරත්න, කලන පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, කවිඳු නදීශාන්, චමිඳු වික්‍රමසිංහ.

Colts කණ්ඩායම:

අකිල ධනංජය (නායක), රවිඳු රසාන්ත, සංගීත් කුරේ, ශෙරන් ෆොන්සේකා (කඩුලු රකින්නා), හෂාන් දුමිඳු, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, මුදිත ලක්ෂාන්, ජෙහාන් ඩැනියෙල්, යසිරු රොද්‍රිගෝ, උදිත් මදුශාන්.

කාසියේ වාසිය දිනා ගත් SSC නායක අවිශ්ක ප්‍රනාන්දු පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා Colts කණ්ඩායමේ නායක අකිල ධනංජයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු කඩුල්ලේ සිට ම තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. ඒ අනුව ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ රවිඳු රසාන්ත සහ සංගීත් කුරේ ලකුණු 48ක සබඳතාවක් එක් කළා.

සංගීත් කුරේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 13කට දැවී ගිය අතර රවිඳු රසාන්ත පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා.

Colts ඉනිම වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 115ක් ලෙසින් දැක් වුණ අතර ඊට අනතුරුව යැවුණ පන්දු 15කට පසුව දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලෙසයි. එම අවස්ථාවේ දී මුදිත ලක්ෂාන් සහ හෂාන් දුමිඳු එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කළා. එය Colts ඉනිමේ හොඳම සබඳතාව බවට ද පත් වුනා.

හෂාන් දුමිඳු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී පසු පෙළින් පිටියට පිවිසි මුදිත ලක්ෂාන් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

ඊට අමතර ව ශෙරන් ෆොන්සේකා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය, චමිඳු වික්‍රමසිංහ සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත් අතර කලන පෙරේරා සහ කවිඳු නදීශාන් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ලකුණු 237ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි SSC කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු 31ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වූවා.

නමුත් ඒ වෙද්දී පිටියේ රැදී සිටි නායක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 125ක් ලබා ගත්තේ ක්‍රිශාන් සංජුල සමඟ තෙවැනි කඩුල්ලට පන්දු 168ක දී ලකුණු 150ක් ද ලබා ගනිමිනුයි.

ක්‍රිශාන් සංජුල පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

SSC ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී රනුද සෝමරත්න පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී යසිරු රොද්‍රිගෝ, මුදිත ලක්ෂාන්, අකිල ධනංජය සහ උදිත් මධුශාන් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

දෙවැනි අවසන් පූර්ව තරගය, NCC, කොළඹ 07, ජනවාරි 14, 2024, Major Clubs Limited Over Tournament

Colts CC – කඩුලු 8ක් දැවී 236 (50.0) රවිඳු රසාන්ත 40, ශෙරන් ෆොන්සේකා 38, හෂාන් දුමිඳු 63, මුදිත ලක්ෂාන් 36, ජෙහාන් ඩැනියෙල් 22, ප්‍රභාත් ජයසූරිය 2/24, නුවනිඳු ප්‍රනාන්දු 2/39, චමිඳු වික්‍රමසිංහ 2/35

SSC –  කඩුලු 4ක් දැවී 240 (47.0) අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 125, ක්‍රිශාන් සංජුල 58, රනුද සෝමරත්න 32, යසිරු රොද්‍රිගෝ 1/28

SSC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

මෙම තරග විසඳුමත් සමඟින් SSC ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර පළමු අවසන් පූර්ව තරගයෙන් Badureliya කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගත් Sebastianites කණ්ඩායම සුදුසුකම් ලබා සිටියා.

ඒ අනුව SSC සහ Sebastianites කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 16 වැනිදා කොළඹ 7, SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<