94 වැනි සුලෝහිත සංග්‍රාමයට දින වෙන් කෙරේ

94th Battle of the Maroons 2024

194

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමය එළඹෙන මාර්තු මස 02 සහ 03 යන දින වල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (එස්.එස්.සී) ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම දෙදින තරගයෙන් පසුව එළඹෙන මාර්තු මස 17 වැනි දා දෙවිදුහල් අතර 47 වැනි වරට පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගය ද පැවැත්වෙනු ඇති.

Photos – 94th Battle of the Maroons – Press Conference

අද (11) පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව නිවේදනය කළ අතර, වසර 15කට පසුව සුලෝහිත සංග්‍රාමයේ නිල ලාංඡනය වෙනස් කර ඇති බව ද මෙහි දී දැනුම් දුන්නා.

මීට වසර 100කට ප්‍රථම, 1924 වසරේ දී* ආරම්භ වූ මෙම ක්‍රිකට් සංග්‍රාමයේ මෙතෙක් පැවැත්වුණු තරග 93න් තරග 12ක් ආනන්ද විද්‍යාලය ජයග්‍රහණය කරද්දී, තරග 7ක් නාලන්දා විද්‍යාලය විසින් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.

*. 1924 වසරේ දී දෙවිදුහල් අතර සුහද තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණු අතර 1926 වසරේ දී නිල වශයෙන් ම දෙවිදුහල් අතර පළමු මහා ක්‍රිකට් තරගය පැවැත්වුණා.

අවසන් වරට පැවැත්වුණු 93 වැනි සුලෝහිත සංග්‍රාමය ද ඇතුළුව තරග 74ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර, ගෙවුණු වසරේ දෙවිදුහල් අතර පැවැත්වුණු එක්දින තරගය ද වර්ෂාව හේතුවෙන් විසඳුමක් රහිතව අවසන් කෙරුණා.

94 වැනි සුලෝහිත සංග්‍රාමය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<