දිමුත්ගේ විශිෂ්ට ශතකය නිසා දිනයේ ගෞරවය ශ්‍රී ලංකාවට

312

ශ්‍රී ලංකා පිළ මුහුණ දෙන මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය අද (06) නිමාව දුටුවේ වමත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දැක්වූ සුවිශේෂී දස්කම් මැදයි. දිනය ආරම්භයේ සිට අවසානය දක්වාම පිටියේ රැඳෙමින් ඔහු රැස්කළ විශිෂ්ට ශතකයෙන් පණ ලැබූ ශ්‍රී ලංකා ඉනිම මේ වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 254ක් දක්වා වර්ධනය වී ඇත. එබැවින් හෙට දිනයේ මෙය පාකිස්තානු ක්‍රීඩකයින්ට ළඟා වීමට අපහසු අන්දමේ ඉලක්කයක් බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සුක විය යුතුය.

තිරිමාන්න ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ සටනක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උපනායක ලහිරු තිරිමාන්න අද (06) ඩුබායි හීදී ආරම්භ වන පාකිස්තානය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සිය ශාරීරික යෝග්‍යතාව…

අද තරගයේ දී කාසියේ වාසිය දිනාගත් චන්දිමාල් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිළට ලබා දීමට සමත් විය. ඒ අනුව උදාවූයේ පිතිකරුවන් තම වගකීම් ඉටු කළ යුතු වාරයයි. අද තරගයට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමට ආබාධයකට මුහුණ පෑ ලහිරු තිරිමාන්න එක් නොවූ අතර ඔහු වෙනුවට අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් දිනා ගත්තේ යොවුන් ක්‍රිකට් තරුවක් වන සදීර සමරවික්‍රමයි.

තවමත් 22 වැනි වියේ පසුවන සදීර 2016/17  ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට ද පත්විය. ඒ තරග 10කට පමණක් සහභාගි වී ශතක 6ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1016ක් රැස්කර ගනිමිනි. දකුණතින් පිත්ත හසුරුවන සදීර, සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කොට පසුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හරහා පළමු පෙළ ක්‍රිකට් දිවියට පිවිසියෙකි. ඔහු කඩුලු රැකීමේ සුවිශේෂී දක්ෂතාවයකින් ද යුතු වුවද මෙම තරගයේ දීත් කඩුල්ල පිටුපස වගකීම් නිරෝෂන් දික්වැල්ලට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇත.

මීට අමතරව රාත්‍රියේ දී ඇතිවිය හැකි දෝලනයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් වෙනුවට දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ කැඳවා තිබුණි. පුහුණුවීම් අතරතුර දී ඇතිවූ ආබාධ තත්ත්වයක් නිසා මෙම තරගයේ දී පාකිස්තානු කණ්ඩායමට හසන් අලිගේ සේවය අහිමි වූ නිසා ඒ වෙනුවට ශ්‍රී ලංකාවට මීට පෙර අවස්ථා කිහිපයක දී ම තර්ජනයක් වී ඇති වමත් වේගපන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් එක් කිරීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් තීරණය කොට තිබුණි.

දනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරත්මක ආරම්භක පිතිකරුවෙකු වන දනුෂ්ක ගුණතිලක හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 6ක තහනමක්…

මේ අතර පාකිස්තානු කණ්ඩායම සමඟ අබුඩාබි නුවර දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු සටනකින් පසුව ජයගත් ශ්‍රී ලංකාවට මේ වනතුරු ලොව කිසිදු රටකට සිදු කළ නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමේ අවස්ථාව උදා වී තිබේ. ඒ පළමු වරට මැද පෙරදිග දී පාකිස්තානුවන්ට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගත් කණ්ඩායම බවට පත්වීමටයි. ඒ සඳහා මෙම තරගය ජය පරාජයෙන් තොරව හෝ නිමාකර ගැනීම ද ප්‍රමාණවත්ය. ඒ මෙවර පාකිස්තානු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය තරග 2කින් පමණක් සමන්විත වීම හේතුවෙනි.

අද ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා මෙම රෝස පැහැති පන්දුවේ නුපුරුදු අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබා දීමට සමත් වූහ. ඒ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 63ක් එක් කරමිනි. කෙසේ වෙතත් අනපේක්ෂිත ලෙස නැවතත් කණ්ඩායම හා එක්වුණු කෞෂාල් සිල්වාගේ ඉනිම අද ලකුණු 27දී නිමාව දිටීය. ඒ යසීර් ෂාගේ දඟ කැවුණු පා දඟ පන්දුවකට ඔහු කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දුන් බැවිනි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ දැකගන්නට ලැබුණේ එක්දින තරගයක් සිහි ගන්වන ආකාරයේ වේගවත් පිතිකරණයකි.

ඒ අද ජාත්‍යන්තර පිටියට අත්පොත් තැබූ සදීර සමරවික්‍රම ඩුබායි පිටිය ආක්‍රමණය කරමින් දියත් කළ දක්ෂ පිතිකරණය හේතුවෙනි. ඉතාමත් දැකුම්කළු ඩ්‍රයිව් පහරවල්, පුල් පහරවල් වලින් සමන්විත මෙම කෙටි වේගවත් ඉනිම අවසානයේ නිමාව දුටුවේ මොහොමඩ් ආමීර් විසින් පන්දු යවමින්ම රැකගත් විශිෂ්ට උඩපන්දුවක් නිසාවෙනි. ඒ අතරතුර දී සදීර පන්දු 35ක් තුල දී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟිනි. මෙම ඉනිම දුටු ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා සදීරගේ ඉනිම වර්ණනා කළේ සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන නැවතත් ඉපදී ඇති බව ප්‍රකාශ කරමිනි.

කෙසේ වෙතත් සදීරගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, යසීර් ෂා තමන් වෙත එවූ පළමු පන්දුවටම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේ ශ්‍රී ලංකාවට නැවතත් යම් පීඩනයක් එක් කරමිනි. මෙන්ඩිස් ලබා දුන් උඩපන්දුව ස්ලිප් ක්‍රීඩකයා රැක ගනිද්දී ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136ට කඩුලු 3ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළේ වැදගත් සහ තීරණාත්මක ස්ථාන වන අංක 3, 4 පිතිකරණ ස්ථානයන් හොබවන මෙම තරුණ පිතිකරුවන් දෙදෙනා ඉදිරියේ දී හෝ මීට වඩා වගකීමකින් යුතුව තම පිතිකරණ රිද්මය පවත්වා ගන්නේ නම් වඩා යහපත් වනු ඇත.

කෙසේ හෝ නවකයින් දෙදෙනා පිටිය හැර යාමෙන් පසු ඉනිම බිඳ වැටෙන්නට නොදී රැක ගැනීමට පරිණත පිතිකරණ යුගලයක් වන දිමුත් කරුණාරත්න සහ නායක චන්දිමාල් සමත් විය. ඒ ඕනෑම පිතිකරණ පාරාදීසයක දී වුවත් මනා සංයමයක් රඳවා ගත යුතු බව පැහැදිලි කරමිනි. පාකිස්තානයට දැඩි හිසරදයක් වෙමින් හිඩැස් අතරට පන්දුව යොමු කරමින් ලකුණු සොරාගත් මොවුන් දෙදෙනාගේ සබඳතාවය අද ශතකය ද ඉක්මවා වර්ධනය විය. එය මේ වන විට දැක්වෙන්නේ නොබිඳුනු ලකුණු 118ක විශිෂ්ට සබඳතාවයක් ලෙසිනි.

මෙම තරගාවලිය ඇරඹීමට පෙරම දෙවැනි ඉනිමේ පිතිකරුවෙකු ලෙස ලේබල් වැදී සිටි දිමුත් කරුණාරත්න අද මුල් ඉනිමේ දී ම ශතකයක් වාර්තා කරමින් මෙම සබඳතාවයේ ප්‍රධාන චරිතය රඟ දැක්වීය. කලින් තරගයේදීත් ප්‍රථම ඉනිමේ දී ශතකය පෙනි පෙනී දැවී ගිය දිමුත්ට එම සෘණාත්මක සන්නාමය තවදුරටත් උචිත නොවන බව ඔහු මේ වන විට දක්වන දක්ෂතා අනුව පෙනී යයි. අද දිනය නිමා වන විට දිමුත් තම ටෙස්ට් දිවියේ සත්වැනි ශතකය ලෙස නොදැවී ලකුණු 133ක් ලබා සිටියි. ඒ හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

අනෙක් අන්තයේ සිට තමන්ට හුරුපුරුදු මන්දගාමී නමුත් ප්‍රවේශම් සහගත ඉනිමක යෙදී සිටින නායක දිනේෂ් චන්දිමාල් අර්ධ ශතකයට එක් ලකුණක් පිටුපසින් සිටියි. ඒ හතරේ පහර 5ක් සමඟිනි. ඒ අනුව හෙට උදෑසනත් පාකිස්තානු ක්‍රීඩකයින්ට පිටියට පිවිසීමට සිදුව තිබෙන්නේ මෙම දැවැන්ත ශතක සබඳතාවය බිඳ දැමීමේ බලාපොරොත්තු සහිතවයි. එම අපේක්ෂාවන් බොඳ කරමින් විශාල ලකුණු සංඛ්‍යාවක් ඩුබායි ලකුණු පුවරුව මත සටහන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් තරගාවලි ජයක් පිළිබඳ මිහිරි සිහින දැකීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 254 (පන්දුවාර 90):  දිමුත් කරුණාරත්න 133*, දිනේෂ් චන්දිමාල් 49*, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 2/90, මොහොමඩ් ආමීර් 1/59.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න