සංගා තනතුරෙන් සමුගෙන යද්දී Clare Connor වැඩ අරඹයි

1391

වසර 233ක ඉතිහාසයක් සහිත මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club – MCC) නව සභාපතිනිය ලෙස එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායිකා Clare Connor ඊයේ (1) වැඩ භාරගෙන තිබෙනවා. ඒ හිටපු සභාපති කුමාර් සංගක්කාරගේ ධුර කාලය අවසන් වීමත් සමඟයි.

1787 සිට පැවත එන මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස පත් වූ පළමු කාන්තාව ඇය වන අතර ඇය දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ECB) කාන්තා ක්‍රිකට් කළමනාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරනු ලබනවා.

2019 ඔක්තෝබර් හි MCC සභාපති ලෙස සිය රාජකාරි ආරම්භ කළ සංගක්කාරගේ නිල සේවා කාලය, COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් වසර දෙකක් දක්වා දීර්ඝ කෙරුණා. එම ධුර කාලය පසුගිය සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වුනු අතර ඉන්පසුව එහි මීළඟ නව සභාපතිනිය ලෙස කුමාර් සංගක්කාර විසින් Clare Connorව නම් කරනු ලැබුවා.

ඇය සිය පත්වීමේ දී අදහස් දක්වමින් පවසා සිටියේ MCC සභාපති වීම ගැන ඇය සැබැවින්ම ගෞරවයට පත් වන බවත්, ඇගේ ජීවිත කාලය පුරාම, ක්‍රීඩාවේ යහපත උදෙසා මෙම අතිමහත් වැදගත් කාර්යභාරය ඉටු කිරීමට ඇය කෙරෙහි තැබූ විශ්වාසය ගැන කුමාර් සංගක්කාරට ද ස්තුති කිරීමට කැමති බවයි.

දැනට වයස අවුරුදු 45ක් වන Clare Connor, 1995 සිට 2005 දක්වා වසර 10ක කාලයක් එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 16ක්, එක්දින තරග 93ක් සහ විස්සයි විස්ස තරග 2ක් ක්‍රීඩා කර තිබෙනවා. එසේම 2005 වසරේ දී එංගලන්ත කාන්තා පළමු අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය සඳහා ද සිය නායකත්වය ලබා දී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<