ප්‍රභාත් සහ නිශාන්ගේ දඟපන්දුව නවසීලන්තය අන්ත අසරණ කරයි

New Zealand Tour Of Sri Lanka 2024

51

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ක්‍රියාත්මක වන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගය දෙවැනි දිනයට නතර කරන විට නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටි අතර, ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බළඇණියට හැකියාව ලැබුණා. 

මෙහි දී ප්‍රභාත් විසින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර, තම මංගල තරගය ක්‍රීඩා කරන නිශාන් පීරිස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. නවසීලන්ත පළමු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Mitchell Santner ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 514ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට නවසීලන්තයට සිදු වූ අතර, මෙහි දී ද ඉනිමේ පළමු කඩුල්ල ලකුණු පුවරුවට එකඳු ලකුණක් හෝ එක්වීමට පෙර දවා ගැනීමට නිශාන් පීරිස්ට හැකියාව ලැබුණා. 

කෙසේ වෙතත් පළමු ඉනිමේ දී සිදු වූ අඩුපාඩු යම් පමණකට හෝ මගහරවා ගනිමින් පිතිකරණයේ යෙදුණු නවසීලන්තය තරමක් දුරට දෙවැනි ඉනිමේ ස්ථාවර වීමට සමත් වුනා. මෙහි දී Devon Conway ලකුණු 61ක් සහ Kane Williamson ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක් එක් කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව නවසීලන්ත ඉනිමේ කඩුලු 5ක් ලකුණු 121ක් වන විට දවා ගැනීමට සමත් වුනේ තරගයේ තීරණය තවත් ඉක්මන් කිරීමට අඩිතාලම සකසා දෙමිනුයි 

කෙසේ වෙතත් මින් පසුව හය වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ Tom Blundell සහ Glenn Phillips දිනය නිම වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් ලකුණු 78ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා. 

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 5න් තුනක් ම නිශාන් සතු වූ අතර, ප්‍රභාත් ජයසූරිය සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

තරගයේ සිව්වැනි දිනය අද (29) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

තරගාවලියේ සියලු උණුසුම්  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<