Galle Gallants දෙවැනි ජයත් ලබයි

6
LPL 2026

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට Galle Gallants ක්‍රීඩකයෝ සමත් වූ අතර ඊට අමතර ව පැවැති අනෙක් තරගයෙන් Dambulla Sixers කණ්ඩායම ජයග්‍රහණය කිරිමට සමත් වෙනවා.

මෙම තරග කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) නිමා වූවා.

2 වැනි තරගය, Dambulla Sixers සහ Kandy Royals, කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Dambulla Sixers

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Kandy Royals කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් පමණයි.

 ඒ අනුව මෙම තරගයෙන් Dambulla Sixers කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමි වෙනවා.

Dambulla Sixers

දිනේෂ් චන්දිමාල් (නායක), Sahibzada Farhan, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), Reeza Hendricks, පවන් රත්නායක, Marques Ackerman, ධනංජය ලක්ෂාන්, Gulbadin Naib, දුශ්මන්ත චමීර, මහීෂ තිලකරත්න, Mohammad Wasim, විශ්ව ලහිරු.

Kandy Royals

ඇන්ජලෝ මැතිව්ස් (නායක), විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ලහිරු උදාර (කඩුලු රකින්නා), Dale Phillips, වනිඳු හසරංග, Vijay Shankar, දුශාන් හේමන්ත, මුදිත ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, Shaheen Shah Afridi.

පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Reeza Hendricks. ඔහු ඉනිම අවසන් වෙද්දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා.

ඊට අමතර ව Gulbadin Naib පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 44ක දී නොදැවී ලකුණු 94ක සබඳතාවක් එක් කළ අතර එය ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ එම කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සබදතාවයි.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත සහ නුවන් තුෂාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Shaheen Shah Afridi සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy Royals ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 22ක් වෙද්දී දැවී යනවා. නමුත් ඉන් අනතුරු ව ලහිරු උදාර සහ Dale Phillips එක් ව 3 වැනි කඩුල්ලට පන්දු  41ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා.

එහි දී Dale Phillips පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ද සහ ලහිරු උදාර පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Vijay Shankar පන්දු 18ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Gulbadin Naib සහ Mohammad Wasim කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව මහීෂ් තීක්ෂණ සහ දුශ්මන්ත චමීර කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla Sixers – කඩුලු 6ක් දැවී 205 (20.0) Sahibzada Farhan 23, Reeza Hendricks නොදැවී 87, Gulbadin Naib 46, නුවන් තුෂාර 2/35, දුශාන් හේමන්ත 2/26

 

Kandy Royals – කඩුලු 6ක් දැවී 187 (19.4) ලහිරු උදාර 44, Dale Phillips 52, වනිඳු හසරංග 21, Vijay Shankar නොදැවී 41, Mohammad Wasim 2/39, Gulbadin Naib 2/19

 

Dambulla Sixers කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

තරගයේ වීරයා – Reeza Hendricks (Dambulla Sixers)

3 වැනි තරගය, Galle Gallants සහ Colombo Kaps, කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Galle Gallants

ප්‍රතිවාදීන් කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Kaps ක්‍රීඩකයෝ කඩුලු 8ක දැවී ලකුණු 189ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle Gallants ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.

Colombo Kaps

කුසල් මෙන්ඩිස් (නායක), Rubin Hermann, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, Ben McDermott, ජනිත් ලියනගේ, James Neesham, මල්ෂ තරුපති, වනුජ සහන්, බිනුර ප්‍රනාන්දු, Mujeeb Ur Rahman, Hasan Mahmud.

Galle Gallants

දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, චරිත් අසලංක, Mehidy Hasan Miraz, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, චාමික කරුණාරත්න, දිනුර කළුපහන,  Akif Javed, විජයකාන්ත් වියස්කාන්ත්.

ජයග්‍රාහී Galle Gallants ජයග්‍රහණයේ නියමුවා වූයේ ආරම්භක පිතිකරු Sam Harper. ඔහු ජයග්‍රහණයට ලකුණු 57ක් තිබිය දී 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.

ඔහු චරිත් අසලංක සමඟින් 3 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 72ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී චරිත් අසලංක පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.

ඊට අමතර ව තරගය අවසන් වෙද්දී සහන් ආරච්චිගේ පන්දු 16ක දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා සිටි අතර Mohammad Nawaz ද පන්දු 8ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් සහ Hasan Mahmud කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව James Neesham කඩුල්ලක් දවා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 79ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Ben McDermott පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 63ක දී ලකුණු 97ක සබඳතාවක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී Akif Javed ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දසුන් ශානක, Mohammad Nawaz සහ ඒශාන් මාලිංග කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo Kaps – කඩුලු 8ක දැවී 189 (20.0) කුසල් මෙන්ඩිස් 79, Ben Mcdermott 57, Akif Javed 4/40

 

Galle Gallants – කඩුලු 5ක් දැවී 191 (19.2) Sam Harper 65, චරිත් අසලංක 28, සහන් ආරච්චිගේ නොදැවී 38, Hasan Mahmud 2/31, වනුජ සහන් 2/19

 

Galle Gallants කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – Sam Harper (Galle Gallants)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (19) Dambulla Sixers සහ Jaffna Kings අතර තරගයත් සහ Colombo Kaps සහ Kandy Royals අතර තරගයත් මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<