“සූපවේදියෝ වැඩියි, සුප් එක රස නැහැ” – නික් පෝතස්

927
Nick Pothas

නැවත නැගිටින්නට දඟලන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සාහය (එවැන්නක් තිබේ නම්) හැම දෙනාගේම ඇඟිලි ගැසීමෙන් ව්‍යර්ථ වන බවයි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු නික් පෝතස් පවසන්නේ. නිමා වූ ඉන්දියා – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයෙන් පසු රොයිටර් හරහා ඔහු මෙම අදහස් පළකළේය.

“වෙලාවකට තරහත් යනවා. හරියටම කිව්වොත් සූපවේදියෝ වැඩියි” ඔහු කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් තමන්ගේ වෘත්තීය තමන්ට හරිහැටි කරන්නට නොදී නොයෙක් ඇඟිලි ගැසීම් සිදු කරන බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වශයෙන් බඳවාගත් පෝතස් දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අතර ඔහුගේ පුහුණුකාරීත්වයෙන් මෙතෙක් ලත් පැහැදිලි ජයග්‍රහණ කිසිවක් නැත. කවුද මේ සූපවේදීන්?

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, තේරීම් කමිටු සභාපති, කණ්ඩායම් කළමනාකරු මේ අතර සිටිනු ඇතැයි උපකල්පනය කළ හැකිය. ක්‍රීඩකයන් දිගින් දිගටම තමන්ගේ වෘත්තිය පැහැර හැරීමට හේතුව මේ අතරින් කවරෙක්ද?

“ක්‍රීඩකයන් එක්ක මගේ තරහක් තිබෙනවාද? නැහැ. ඔවුන් මහන්සි විය යුතු තරම් ඔවුන් මහන්සි වෙනවා. ඔවුන් සුපිරියි. සහය කාර්යමණ්ඩලයත් අතිදක්ෂයි.” පෝතස් එසේ අදහස් දක්වා තිබිණි.

ක්‍රීඩකයන් සහ සහාය කාර්යමණ්ඩලය යන දෙපලම සුපිරි යැයි පවසන පෝතස් පරිපාලකයන්ගේ සුපිරි බව ගැන කිසිදු අදහසක් පළකොට තිබුණේ නැත.

දකුණු අප්‍රිකාවෙන් ඇරඹි තරග පරාජයන් ශ්‍රී ලංකාව තුළදීත් නොවෙනස්ව පවතින අතර නොයෙක් මුහුණු වෙනස්වීම නම් පැයෙන් පැයට දැකිය හැකිය. සාර්ථක පරිපාලන තීරණ නොලැබෙන්නට හේතුකාරණා මොනවාද?

ජුනි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගත් නික් පෝතස් තම සැලසුම ගැනද මෙසේ අදහස් පළකළේය.

“මට කාර්යයක් පැවරුණා. එහි පාලනය මා යටතේ තිබුණා. අපට සාර්ථකත්වය ගැන දින වකවානු සහිතවම කියන්නට හැකියාව තිබුණා.” එසේ නම් ඔහු පවසන්නේ දැන් එවැන්නක් සිදු කළ නොහැකි බවද?

“ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ඒක හරිම අමාරුයි. කාර්යමණ්ඩලය හැටියට අපටත් අමාරුයි නිසි සැලැස්මක් හදාගන්න.” අමාරුවක් ඇති බව සඳහන් කළත් ඊට වගකිව යුත්තන් ගැන යමක් පෝතස්ගේ මුවින් පිට නොවිණි.

“මොවුන් හැමදෙනාම පුදුමාකාර දක්ෂතාවලින් යුත් ක්‍රීඩකයන්. ඔවුන්ට යම් කාලයක් සහ යම් ආදරයක්, සැලකිල්ලක් දක්වන්න. ඉක්මන් ප්‍රතිඵල ලැබේවි.” ඔහු කියයි.

කවුරුන් නොදුන්නත් ඒ සැලකිල්ල, ආදරය නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් එම ක්‍රීඩකයන්ට නොඅඩුවම ලබාදී ඇත. එහෙත් ප්‍රතිඵලයක් නොදකින විට ගැටලු ඇතිවීම මෙවන් වචන වලින් නැවතිය හැකිද?

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට