Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

1935

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි.

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් අතර තරගයෙන්.

LPL තරගාවලියට දින ගැනෙන උණුසුමේ ඊට සහභාගී වන කණ්ඩායම් 5 විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට ThePapare.com උනන්දු වුනා. මේ එහි පළමු වැන්නයි. ඒ සඳහා පළමුවෙන් ම තෝරා ගත්තේ පසුගිය වසරේ ශූරයන් වූ Jaffna Kings කණ්ඩායමයි.

Jaffna Kings කණ්ඩායමේ LPL ගමන් මඟ

  වසර තරග ජය පරාජ නොවිසඳුණ ස්ථානය
1 2020 10 6 3 1 ශූරතාව
2 2021 11 8 3 0 ශූරතාව
3 2022 10 8 2 0 ශූරතාව
එකතුව 31 22 8 1  

 

ආරම්භක වසරේ දී Jaffna Stallions නමින් තරගාවලියට එක් වූ යාපනය ක්‍රීඩකයෝ 2021 වසරේ සිට Jaffna Kings නමින් තරගාවලියට එක් වෙනවා.

නිමා වූ තරගාවලි ත්‍රිත්වයේ දී ම ශූරයන් වීමට Jaffna Kings සමත් වෙන අතර මෙවර ද තම බලාපොරොත්තු ඒ ලෙසින් ම තබා ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකි. ඊට සූදානම් වීම සඳහා ඔවුන් තම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් ලෙසින් දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියා යන රටවල් නියෝජනය කළ ක්‍රීඩකයන් 6 දෙනෙක් තම කණ්ඩායම හා එක් කර ගන්නවා.

David Miller

දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Miller යාපනය කණ්ඩායම හා එක් වෙන්නේ සෘජුව ගිවිසුම්ගත ක්‍රීඩකයෙක් ලෙසයි. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙසින් ගිවිසුම්ගත Miller යාපනය රජවරුන් අතරට එක් වෙන්නේ පළමු වතාවටයි.

34 හැවිරිදි මේ වමත් පිතිකරුවා දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 155ක ඉනිම් 132ක දී ලකුණු 3888ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 114ක ඉනිම් 99ක දී ලකුණු 2216ක් ලබා  ඇති ක්‍රීඩකයෙක් වන අතර මැදි පෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වූවෙක්.

ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග පිටියේ තරග 446කට සහභාගී වෙමින් ඉනිම 403ක දී ලකුණු 9627ක් ලබා සිටිනවා. ඒ අතර ශතක 4ක් සහ අර්ධ ශතක 44ක් ඇතුළත්.

වසර 8ක් තිස්සේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන Miller පසුගිය තරගාවලිය නිමා කරන්නේ තම අසාර්ථක ම තරග සංචාරය ලෙසයි. එහි දී  Gujarat Titans කණ්ඩායම නියෝජනය කළ  Miller තරග 16ක ඉනිම් 13ක දී ලබා ගන්නේ ලකුණු 259ක් පමණයි. ඒ අතර එකදු හෝ අර්ධ ශතකයක් වාර්තා නොවන අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ ද 32.37ක්.

Rahmanullah Gurbaz

21 වැනි වියේ පසුවෙන ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Rahmanullah Gurbaz ද යාපනය හා එක් වෙන්නේ සෘජුව ගිවිසුම්ගත ක්‍රීඩකයෙක් ලෙසයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 21ක ඉනිම් 21ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 779ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43ක ඉනිම් 43ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1043ක් ලබා ඇති Gurbaz විස්සයි විස්ස තරග 137ක ඉනිම් 136ක දී ශතකයක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3355ක්.

එළඹෙන අගෝස්තුවේ පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ (CPL) දී Guyana Amazon Warriors කණ්ඩායම හා ගිවිසුම්ගත ක්‍රීඩකයෙක් වන Gurbaz, ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL), බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL), පාකිස්තාන සුපර් ලීග් (PSL) ඇතුළු විස්සයි විස්ස තරගමාලාවන් හී ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෙක් ලෙසින් නම් දරා සිටිනවා.

LPL තරගමාලාවේ දී Gurbaz මීට පෙර Kandy Tuskers සමඟ ද එක්ව තිබෙනවා. කෙසේ වෙතත් ආසන්නත ම වසර ද්විත්වයේ දී Jaffna Kings සමඟ එක් Gurbaz තරග 17ක ඉනිම් 17ක දී ලකුණු 456ක් ලබා ගැනීමට සමත් වෙනවා.

Shoaib Malik

41 වැනි වියේ පසුවෙන පාකිස්තානයේ තුන් ඉරියව් ක්‍රීඩක Shoaib Malik මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී වසර 3කට ආසන්න කාලයක් වෙනවා.

එසේ වූවත් විස්සයි විස්ස පිටියේ තවමත් ඉල්ලුම සපිරි ක්‍රීඩකයෙක් වන ඔහු යාපනය කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලකටයි.

මේ වෙද්දී PSL, BPL සහ තවත් තරගාවලි කිහිපයක ම නැතිව ම බැරි ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු වර්ගීකරණය ලබනවා. නිමා වූ PSL තරගාවලියේ දී Karachi Kings නියෝජනය කළ Malik ඉනිම් 9ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 200ක් ලබා ගත් අතර BPL තරගාවලියේ දී ඉනිම් 10ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 279ක් ලබා ගන්නවා.

Malik, නිමා වූ තරගාවලි ත්‍රිත්වයේ දී ම නියෝජනය කළේ යාපනය කණ්ඩායමයි. එහි දී ඔහු තරග 30ක ඉනිම 26ක දී පිටියට පිවිසෙමින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 514ක්.

Hardus Viljoen

34 හැවිරිදි වියේ පසුවෙන දකුණු අප්‍රිකාවේ Hardus Viljoen යාපනය කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 30,000ක මුදලකටයි.

දකුණත් වේග පන්දු යවන්නෙක් ලෙස යාපනය කණ්ඩායම හා එක් වෙන Viljoen 2016 වසරේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට පමණක් සහභාගී වී ඇති ක්‍රීඩකයෙක්. ඉන් පසුව ඔහුට දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග පිටියට පිවිසීමට අවස්ථාවක් නොලැබුණත් PSL, CPL සහ IPL තරගමාලාවන් හී සුවිශේෂී ක්‍රීඩකයෙක් වීමට වාසනාවන්ත වූවා.

ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 145කට සහභාගී වී ඇති අතර මෙතෙක් කඩුලු 159ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

Viljoen, LPL තරගාවලිය හා එක් වෙන්නේ පළමු වරටයි.

Zaman Khan

21 වැනි වියේ පසුවෙන Zaman Khan දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් යාපනය කණ්ඩායම හා ගිවිසුම්ගත වන්නේ ඇමෙරිකානු ඩොලර් 20,000ක මුදලකටයි.

පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6කට පමණක් ක්‍රීඩා කර ඇති Zaman Khan ලබා ඇති කඩුලු සංඛ්‍යාව 4ක්. විස්සයි විස්ස තරග පිටියේ ඔහුගේ දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ තරග 63ක දී ලබා ගත් කඩුලු 84ක්.

පසුගිය වසරේ ද යාපනය කණ්ඩායම නියෝජනය කළ Zaman Khan එහි දී ඔහු තරග 5කට ක්‍රීඩා කරමින් පන්දුවාර 17ක් යවමින් කඩුලු 4ක් ලබා ගන්නවා. ඒ වෙනුවෙන් ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 138ක් ලබා දෙනවා.

Chris Lynn

33 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික Chris Lynn ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී මේ වන විට වසර 5ක පමණ කාලයක් වෙනවා.

ආරම්භක දකුණත් පිතිකරුවෙක් ලෙසින් ඕස්ට්‍රේලියා එක්දින කණ්ඩායම නියෝජනය කරමින් තරග 4ක දී ලකුණු 75ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18ක දී ලකුණු 291ක් ඔහු විසින් රැස් කරගෙන සිටිනවා.

විස්සයි විස්ස පිටියේ IPL, CPL සහ SLPL තරගාවලි ද නියෝජනය කළ Chris Lynn මේ දක්වා එවැනි තරග 265කට සහභාගී වෙමින් ශතක 5ක් සහ අර්ධ ශතක 48ක් සමඟින් ලකුණු 7436ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

ඔහු යාපනය කණ්ඩායම හා එක් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදල් ගිවිසුමක් මතයි.

Jaffna Kings කණ්ඩායමේ තරග කාලසටහන

  ප්‍රතිවාදීන් දිනය ක්‍රීඩාංගණය වේලාව
1 Colombo Strikers ජුලි 30 ආර්. ප්‍රේමදාස (කොළඹ) රාත්‍රී 7.30
2 Dambulla Aura අගෝස්තු 01 ආර්. ප්‍රේමදාස (කොළඹ) ප.ව. 3.30
3 Dambulla Aura අගෝස්තු 04 පල්ලෙකැලේ රාත්‍රී 7.30
4 Colombo Strikers අගෝස්තු 05 පල්ලෙකැලේ රාත්‍රී 7.30
5 Galle Titans අගෝස්තු 07 පල්ලෙකැලේ රාත්‍රී 7.30
6 B – Love Kandy අගෝස්තු 08 පල්ලෙකැලේ රාත්‍රී 7.30
7 B – Love Kandy අගෝස්තු 12 ආර්. ප්‍රේමදාස (කොළඹ) ප.ව. 3.00
8 Galle Titans අගෝස්තු 13 ආර්. ප්‍රේමදාස (කොළඹ) ප.ව. 3.00

 

Jaffna Kings කණ්ඩායම: තිසර පෙරේරා (නායක), David Miller, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, Shoaib Malik, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුසාන්, පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මධුශ්ක, අසිත ප්‍රනාන්දු, Hardus Viljoen, නුවන් තුෂාර, Zaman Khan, ඩිල්ශාන් මධුශංක, අශාන් රන්දික, අසේල ගුණරත්න සහ රත්නරාජා තනුරදන්.

මීළඟ ලිපියෙන් Colombo Strikers කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් පිළිබඳ ව දැනුවත් වෙමු.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<