LPL පිළිමළුන්ගේ වටය ඇර‌ඹෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

314

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ වත්මන් ශූරයින් වන Jaffna Kings අද සවස 3.00ට ආරම්භ වීමට නියමිත තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන් (Qualifier 1) පැවැත්වෙන එම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත සුපිරි අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර, Qualifier 1 තරගය පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවෙනවා.

Qualifier 2 තරගයේ අනෙක් ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේ ප්‍රතිඵලය අනුවයි. එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන Colombo Stars සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Galle Gladiators තරග කරන අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබාගන්නවා.

පිට පිටම දෙවතාවක්ම LPL ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින Kings කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ තරග 2ක් ජය ගැනීම පමණයි. එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Falcons මූලික වටයේ දී Kings කණ්ඩායම මුණගැසුණු අවස්ථා දෙකේ දී ම පරාජයට පත් කළා.

සමස්තයක් ලෙස ගෙන බැලූ විට හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons පළමු වටයේ තරග වැදි තරග 8න් 7ක් ජය ගනිමින් ද, තිසරගේ නායකත්වයෙන් යුත් Kings තරග 8න් 6ක් ජය ගනිමින් ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තා. Falcons පරාජයට පත්වූ එකම තරගය වූයේ Gladiators සමඟ පල්ලෙකැලේ දී පැවති තරගයයි.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පාහේ සිය දක්ෂතා අතරට සිටීම කැපී පෙනෙන අතර ඒ අතරින් Carlos Brathwaite සහ Andre Fletcher පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ට නොදෙවෙනි Kings කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඒ සඳහා ලබාදෙන කොළ පැහැති හිස් වැස්ම (Green Cap) දිනා ගැනීමට සමත්ව සිටිනවා.

ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා ගත් විට වැඩිම ලකුණු ලබා සිටින පිතිකරුවන් අතර පළමු පස්දෙනාගෙන් දෙදෙනෙකු Kings කණ්ඩායමේ ද, තවත් දෙදෙනකු Falcons කණ්ඩායමේ ද පිතිකරුවෝ වෙනවා. අවිශ්ක ප්‍රනාන්දු (268) සහ සදීර සමරවික්‍රම (252) Kings පිතිකරුවන් වන අතර Fletcher (264), කමිඳු මෙන්ඩිස් (211) ඒ අතර සිටින Falcons පිතිකරුවන් වෙනවා.

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<