කළුම කළු ලෝක කුසලානයේ නොදත් තතු

971

කළු සලකුණු රැසකින් අඳුරු වූ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තවදුරටත් වර්ෂාවේ ග්‍රහණයෙන් මිදෙන්නට නොහැකිව සිටියි. තවත් දින කිහිපයක් යන තෙක් වර්ෂාවේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව නොයනු ඇති බව එංගලන්ත කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මේ වන විටත් වර්ෂාවෙන් වැඩිම බලපෑම එල්ල වූ ලෝක කුසලානය වන මෙවර තරගාවලියේ ඉදිරිය පිළිබඳ කළු වලාකුළු ක්‍රිකට් කරළිය පුරා මෝදු කරමින්.

වැස්සට ගුලිවී කාලය ගෙවා ගැනීමට මගක් සොයන අතර මේ කාලගුණ තත්ත්වය ලෝක කුසලාන තරග කෙරෙහි සිදු කරන බලපෑම පිළිබඳ මදක් සොයා බැලීම ඵලදායී රාජකාරියක් වනු ඇත.

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ………

අත්හැර දැමූ තරගයක සහ විසඳුමකින් තොර තරගයක වෙනස.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය මෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (11) පැවැත්වීමට නියමිතව තිබූ තරගය ද සැලකෙන්නේ අත්හැර දැමූ (abandoned) තරග ලෙසයි. එනම් කාසියේ වාසිය උරගා බැලීමකින් හෝ තොරව එම තරග දෙකම අවසන් වීම එයින් අදහස් කෙරේ.

කෙසේ වෙතත් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව පන්දුවාර 8ක් පමණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වැස්සට සේදී ගිය බටහිර ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා තරගය ක්‍රිකට් වාර්තා අතරට එක් වන්නේ විසඳුමකින් තොර (no result) තරගයක් ලෙසයි. වෙනත් අයුරකින් කිවහොත් නිල වශයෙන් ආරම්භ වූ තරගයක් විසඳුමකින් තොරව අවසන් වීම මෙසේ හැඳින්වේ.

මේ වර්ෂාවේ වැඩිම බලපෑම එල්ල වූ තරගාවලිය ද?

නියත වශයෙන්ම ඔව්.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තුළ මේ වන විට තරග දෙකක් අත්හැර දමන්නට සිදුව තිබේ. මේ තරගාවලිය ආරම්භයට පෙර දශක 4කට අධික ලෝක කුසලාන ඉතිහාසයේ පැවති සියලු තරග අතරින් අත්හැර දැමීමට සිදුව තිබුණේ තරග දෙකක් පමණකි. ඉන් එක් අවස්ථාවක් 1979 වසරේ දී ද, අනෙක් අවස්ථාව 2015 වසරේ ද වාර්තා වේ.

මෙවර තරගාවලියේ අත්හැර දැමූ තරග දෙකට අමතරව එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වූ අතර එම තරග තුනේ දී ම තරගයට ආ කණ්ඩායම් දෙකට සිදු වුනේ ප්‍රසාද ලකුණු සමව බෙදා ගැනීමටයි. මීට පෙර කිසිදු තරගාවලියක දී එවන් අවස්ථා දෙකකට වඩා වාර්තා වී නොමැත. 1992 සහ 2003 තරගාවලි වලදී විසඳුම් නොමැති තරග දෙක බැගින් වාර්තා වීම මීට පෙර වර්ෂාවෙන් ලෝක කුසලාන තරගාවලියකට ඇතිව තිබූ වැඩිම බාධාව ලෙස හඳුන්වා දිය හැකිය.

වැස්සට පසුව දා තරගය නැවත පවත්වන්න බැරි ද?

වර්ෂාවෙන් තරගයකට බාධා එල්ල වුවහොත් පසු දිනයේ නව තරගයක් හෝ පෙර තරගය නැවැත්වූ තැන සිට පැවැත්වුණු කාලයක් ඔබට මතක ඇත. ලෝක කුසලාන වැනි වැදගත් තරගාවලියක් තුළ කණ්ඩායම් දෙකකට ප්‍රසාද ලකුණු බෙදා දෙනවා හැර මෙවැනි අමතර දිනයක් තබා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු නොවන්නේ මන්දැයි ඔබට ගැටලුවක් මතු වන්නට ද ඉඩ තිබේ. ඇත්තෙන්ම ඔබට පමණක් නොව ඊයේ තරගයේ දී ශ්‍රී ලංකාව සමඟ ප්‍රසාද ලකුණු බෙදා ගන්නට අකමැති වූ බංග්ලාදේශ පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් ද මේ ගැටලුව මතුව ඇති බව දක්නට ලැබුණි.

වාසනාවක් ලෙසින් වෙස් වලා පැමිණෙන අවාසනාව

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ……..

ප්‍රායෝගික ගැටලු

ක්‍රිකට් ක්‍රීඩාව මීට වසර 20කට පෙර තිබූ තත්ත්වය සහ අද තත්ත්වය පිළිබඳ සලකා බලන කළ ලෝකය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ද අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. ඒ හරහා තරගයක් සඳහා අතිරේක දිනයක් පවත්වා ගැනීම අතිශය අසීරු කරුණක් බවට පත්වීමේ ප්‍රධාන බාධකය යටිතල පහසුකම් පිළිබඳ සංකීර්ණත්වයයි.

උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද දිනයේ දී නැවත පැවැත්වෙන්නේ නම්, ඊයේ තරගයෙන් පසු අද දිනයේ බ්‍රිස්ටල් නුවරින් පිටත් වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ 30කට අධික පිරිසක් වෙනුවෙන් බ්‍රිස්ටල් නුවර හෝටල් කාමර වෙන් කිරීමට සිදු වේ. එලෙසම බංග්ලාදේශ කණ්ඩායමට, තරගයට සම්බන්ධ වන නිලධාරීන්ට, දැවැන්ත රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායමකට ඇතුළු බොහෝ පිරිසකට එම පහසුකම් ඒ අයුරින්ම ලබා දීමට සිදු වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරි ඩේව් රිචඩ්සන් පවසන්නේ සාමාන්‍යයෙන් එක් තරගයක් සඳහා 1200කට අධික පිරිසක් ශ්‍රම දායකත්වය සපයන බවයි. එබැවින් ඔවුන් සියලු දෙනා තවත් දිනයක් වෙනුවෙන් සූදානම් කිරීම මූල්‍යමය අතින් මෙන්ම ප්‍රායෝගික අතින් ද ඵලදායීතාව අඩු ක්‍රියාවලියකි.

මීට අමතරව සති 6ක් පුරා ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලියට අතිරේක දින ඇතුළත් කිරීම හරහා තවත් දීර්ඝ කිරීම ද තරගාවලිය කෙරෙහි ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු කරන සාධකයක් බවට පත් වන අතර තරගයක් නැරඹීම සඳහා දින දෙකක් පැමිණීමට බොහෝ ක්‍රීඩාලෝලීන්ට හැකියාවක් නොමැති වීම ද අතිරේක දිනය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට හේතුවක් වී තිබේ.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

තරගය වැස්සට සේදී ගියොත් සල්ලිත් වතුරේ යනවා ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙවර තරගාවලිය ආරම්භයේ දී ම ඇතැම් ක්‍රීඩාලෝලීන්ට ඔවුන් මිල දී ගත් ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ගෙවීමට සිදු වුනේ සංවිධායකයන්ගේ දුර්වලතා හේතුවෙන් තරග ආරම්භ වී සෑහෙන වෙලාවක් ගත වන තුරු ක්‍රීඩාලෝලීන් සමහරෙක් ක්‍රීඩාංගණය තුලට ඇතුල් කර ගැනීමට නොහැකි වීම හේතුවෙනුයි. එම දුර්වලතා මග හරවා ගැනීමට ඔවුන් කටයුතු කර තිබුනත්, දැන් ICCයට ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ගෙවන්නට සිදුවී තිබෙන්නේ කුඩා ප්‍රමාණවලින් නොවේ.

යම්කිසි තරගයක් සම්පූර්ණයෙන්ම අත්හැර දමන්නට සිදු වුවහොත් ක්‍රීඩාලෝලීන් මිල දී ගත් ප්‍රවේශ පත්‍රවල සම්පූර්ණ වටිනාකම ආපසු ගෙවන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරයි. එමෙන්ම තරගයක් පන්දුවාර 15ක් ඉක්මවා ක්‍රියාත්මක නොවුන හොත් එවිට ද ක්‍රීඩාලෝලීන්ට තම ප්‍රවේශ පත්‍ර ගාස්තුව සම්පූර්ණයෙන්ම නැවත ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙයි.

කෙසේ වෙතත් පන්දුවාර 15 ඉක්මවා එක් පන්දුවක් හෝ ක්‍රියාත්මක වුවහොත් ක්‍රීඩාලෝලීන්ට ආපසු ගෙවන මුදල ප්‍රවේශ පත්‍රයේ වටිනාකමින් 50%ක් දක්වා අඩු වේ. මෙම ආපසු ගෙවීම බලපැවැත්වෙන්නේ පන්දුවාර 29යි පන්දු 5ක් දක්වා පමණි. ඒ අනුව තරගයේ 30 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යැවීමත් සමඟ ICCයට ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් ඇති වගකීම අවසන් වෙයි.

ලෝක කුසලාන තරගයක විසඳුමක් ලබා දීමට අවම වශයෙන් පන්දුවාර 40ක් ක්‍රියාත්මක විය යුතු වුවත් (කණ්ඩායමකට පන්දුවාර 20 බැගින්) පන්දුවාර 30ට වැඩියෙන් ක්‍රියාත්මක වූ තරගයක් වැස්සට සේදී ගිය හොත් ප්‍රවේශ පත්‍ර මිල දී ගත් ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ද ඒ සමඟම බොඳ වී යනු ඇති.

නායකයාගේ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කළ සයිමන්ඩ්ස්

2003 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන ……..

2019 ලෝක කුසලාන නීති.

මේ වැසි තත්ත්වය අනුව තියුණු තරග සහ ප්‍රසාද ලකුණු සටහනේ සමවීම් ද දක්නට ලැබීමේ වැඩි අවස්ථාවක් පවතියි. එම නිසා මෙවර තරගාවලියේ වැදගත් විය හැකි නීති රීති කිහිපයක් දෙස අවධානය යොමු කිරීම වටී.

* තරගයක ලකුණු සම වූ විට,

පළමු වටයේ තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වන අතර අවසන් පූර්ව සහ අවසන් තරගයේ දී පමණක් සුපිරි පන්දුවාරය (Super Over) ජයග්‍රාහකයෙක් තීරණය කෙරෙනු ඇත.

* ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු තිබෙන අවස්ථාවක දී,

01 – වැඩිම ජයග්‍රහණ (උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට අත්හැර දැමූ තරග දෙකකින් ප්‍රසාද ලකුණු 2ක් හිමිවී තිබෙන බැවින් ජයග්‍රහණ හරහා පමණක් ශ්‍රී ලංකාව සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සම වන කණ්ඩායමකට ප්‍රමුඛතාව හිමි වේ)

එය ද සම වේ නම්

02 – දල ලකුණු වේගය.

එය ද සම වේ නම්

03- අදාළ කණ්ඩායම් දෙක පළමු වටයේ දී හමු වූ අවස්ථාවේ ජයග්‍රහණය කළ කණ්ඩායම

එම තරගය විසඳුමකින් තොරව අවසන් වී තිබේ නම්

04 –  තරගාවලියට පෙර කණ්ඩායම් වර්ගීකරණයේ ඉහළින් සිටි කණ්ඩායම.

* අතිරේක දින

අවසන් පූර්ව තරග 2 සහ අවසන් තරගය සඳහා පමණක් අතිරේක දින වෙන් කර ඇත.

* අතිරේක දිනයෙන් පසුවත් අවසන් පූර්ව තරගයක් විසඳුමකින් තොරව අවසන් වුවහොත්

පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටි කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇති.

* අවසන් තරගය අත්හැර දැමීමට සිදු වුවහොත් හෝ විසඳුමකින් තොරව අවසන් වුවහොත්.

අවසන් තරගයේ තරගකරුවන් සම ශූරයන් ලෙස නම් කෙරෙනු ඇත.

අවසන් වශයෙන් – වැස්ස තවත් බාධා කරයි ද?

අවාසනාවන්ත ලෙස එම ප්‍රශ්නයටත් පිළිතුරු දීමට සිදුවන්නේ එසේ සිදුවීමේ අවස්ථාව පවතී යනුවෙනි. අද (12) ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරගයට, හෙට (13) ඉන්දීය – නවසීලන්ත තරගයට මෙන්ම අනිද්දා (14) එංගලන්ත – කොදෙව් තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීමට ඉතා ඉහල ඉඩ කඩක් පවතියි. ක්‍රීඩාලෝලීන් ලෙස අපට කළ හැක්කේ අවම වශයෙන් එම තරග සම්පූර්ණයෙන්ම අත්හැර දමන්නට සිදු නොවේවායි ප්‍රාර්ථනා කිරීම පමණකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<