විසාකාවන්ගෙන් තරගාවලි වාර්තා 4ක්; ජෝසප්වරු තවදුරටත් පෙරමුණේ

428

45 වන ‘මයිලෝ’ සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතාවලියේ දෙවන දිනයේ වූ ඊයේ (07) දිනයේ දී කොළඹ විසාකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් නව තරගාවලි වාර්තා 4ක් පිහිටුවමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ අතර අනෙක් පසින් තරගාවලියේ බාලක කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැඳෙන්නට කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

කිමිකෝගේ වාර්තාවක් අලුත් කරමින් පළමු දිනය අවසන් වේ

හතළිස් පස්වැනි “මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලිය” ඊයේ (6) උදෑසන..

තරගාවලියේ දෙවන දිනය තුළ බාලිකා කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවන කොළඹ විසාකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් නව තරගාවලි වාර්තා 4කට හිමිකම් කියන්නට සමත් වූ අතර ඔවුන් තරගාවලියේ පළමු දිනයේ දී ද නව තරගාවලි වාර්තා 3ක් පිහිටුවන්නට සමත් විය. ඒ අනුව ඔවුන් මේ වන විට මෙම තරගාවලිය තුළ පිහිටුවා ඇති නව තරගාවලි වාර්තා ගණන 7කි. එහි දී විසාකා විද්‍යාලයේ රමුදී සමරකෝන් සහ ගංගා සෙනෙවිරත්න විසින් එම තරගාවලි වාර්තා පිහිටුවනු ලැබීය.

14 හැවිරිදි ගංගා සෙනෙවිරත්න විසින් තරගාවලියේ අවසන් වූ දින 2 තුළ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වූ කිමිකෝ රහීම් විසින් පිහිටුවා තිබූ තරගාවලි වාර්තා 2ක් බිඳ දමමින් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ඒ අනුව ඇය පළමු දිනයේ දී මීටර 200 පසුපස ආර ඉසව්ව සඳහා කිමිකෝ විසින් තබා තිබූ වාර්තාව අලුත් කරන්නට සමත් වූ අතර පසුව නැවතත් ඊයේ දිනයේ දී මීටර 100 නිදහස් ආර ඉසව්ව සඳහා කිමිකෝ විසින් 2013 වසරේ දී පිහිටුවනු ලැබූ මිනිත්තු 1:03.89ක වාර්තාව ගංගා විසින් මිනිත්තු 1:03.51ක කාලයක් වාර්තා කර ගනිමින් බිඳ දමන්නට සමත් විය.

>> දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එමෙන්ම රමුදී සමරකෝන් බාලිකා අංශයේ මීටර 50 සහ මීටර 200 ළය ආර ඉසව්වල සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට සමත් වූයේ එම ඉසව් දෙක පිළිවෙළින් තත්පර 36.53ක කාලයක් සහ මිනිත්තු 2:56.17ක කාලයක් වාර්තා කර ගනිමින් අවසන් කරමින් තවත් නව තරගාවලි වාර්තා දෙකකට හිමිකම් කියමිනි. ඇය තරගාවලියේ පළමු දිනයේ දී මීටර 100 ළය ආර ඉසව්ව සඳහා ද නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට සමත් වූ අතර ඒ අනුව මේ වන විට මෙම තරගාවලිය තුළ තරගාවලි වාර්තා 3ක් අලුත් කරන්නට ඇය සමත්ව ඇත.

වයස අවුරුදු 19න් පහළ බාලිකා මීටර 400 මිශ්‍ර ආර ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත් කොළඹ විසාකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් එම ඉසව්ව සඳහා ද නව තරගාවලි වාර්තාවක් පිහිටු වන්නට සමත් විය. ජනේත්‍රී කුලවර්ධන, දසුනි උඩුගම, ගිහිණි නාවෙල සහ සඳු සවින්දී යන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වූ එම කණ්ඩායම එහි දී නව තරගාවලි වාර්තාව පිහිටුවීම සඳහා වාර්තා කර ගත් කාලය මිනිත්තු 4:46.12කි. ඒ අනුව ඔවුන් විසින් එහි දී බිඳ හෙලණු ලැබුවේ 2016 වසරේ දී කොළඹ කාන්තා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් මිනිත්තු 4:49.22ක කාලයක් වාර්තා කර ගනිමින් තබා තිබූ වාර්තාවකි.

ඊයේ දිනයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගාවලිය තුළ සිය දෙවන තරගාවලි වාර්තාවට හිමිකම් කියන්නට සමත් වූයේ වයස අවුරුදු 17න් පහළ මීටර 100 සමනළ ආර ඉසව්ව සඳහා සහභාගී වූ සඳෙව් සේනාරත්න එම ඉසව්ව තත්පර 58.91ක කාලයක් වාර්තා කර ගනිමින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වීමත් සමඟ යි. එමෙන්ම එහි දී දෙවන ස්ථානය දිනා ගත් ආනන්ද විද්‍යාලයේම ෂෙනන් අභිෂේක් ද තබා තිබූ පැරණි තරගාවලි වාර්තාව අභිබවා යාමට සමත් වූයේ තත්පර 59.25ක කාලයක් වාර්තා කර ගනිමිනි. එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ පැරණි තරගාවලි වාර්තාව 2016 වසරේ දී තත්පර 59.79ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව අවසන් කළ උෂාන් ගුණරත්න විසින් පිහිටුවා තිබුණි.

තවදුරටත්, තරගාවලියේ පළමු දිනයේ දී වයස අවුරුදු 19න් පහළ බාලිකා මීටර 50 සමනළ ආර ඉසව්ව සඳහා නව තරගාවලි වාර්තාවක් පිහිට වූ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ෂෙනලි හේරත් ඊයේ දිනයේ දී තවත් පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය. ඒ මීටර 200 සමනළ ආර ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 3:02.89ක කාලයක් වාර්තා කර ගනිමින් සහ මීටර 100 සමනළ ආර ඉසව්වේ රිදී පදක්කම මිනිත්තු 1:16.77ක කාලයක් වාර්තා කර ගනිමින් ජයග්‍රහණය කරමිනි.     

පිහිනුම් ප්‍රවීණයෝ සමඟින් මයිලෝ 25 වසරක අභිමානය සමරන්නට සූදානම්

ශ්‍රී ලංකා පාසල් ජය ක්‍රීඩා සංගමයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, මයිලෝ එකට එක්ව…

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ශේවින්ද ද සිල්වා ද එහි දී සිය පාසල වෙනුවෙන් රන් පදක්කම් දෙකක් සහ එක් රිදී පදක්කමක් දිනා ගන්නට සමත් විය. එහි දී වයස අවුරුදු 17න් පහළ මීටර 100 පසුපස ආර ඉසව්වේ දී ඔහුට සන්තුෂ මල්ලවතන්ත්‍රි හමුවේ දෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුවත් එහි මීටර 50 සහ මීටර 200 ඉසව්වල රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. ඒ එම ඉසව් පිළිවෙළින් තත්පර 28.58ක කාලයක් සහ මිනිත්තු 2:16.93ක කාලයක් වාර්තා කර ගනිමින් අවසන් කරමිනි.

එමෙන්ම තරගාවලියේ පළමු දිනයේ දී වයස අවුරුදු 19න් පහළ මීටර 100 ළය ආර ඉසව්ව සඳහා නව තරගාවලි වාර්තාවක් පිහිටු වනු ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ කේ. සී. දල්පන්දු ඊයේ දිනයේ දී තවත් රන් පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් වූයේ මීටර 50 සහ මීටර 200 ළය ආර ඉසව්වල පළමු ස්ථානය දිනා ගැනීමත් සමඟ යි. එම ඉසව් සඳහා ඔහු පිළිවෙළින් තත්පර 31.62ක කාලයක් සහ මිනිත්තු 2:44.44ක කාලයක් වාර්තා කර ගන්නා ලදි.

කෙසේ නමුත් මෙම වසරේ තරගාවලියේ දී විසාකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් අතරට පැමිණීමට සමත් වුවත් මේ වන විට සමස්ත ලකුණු 281කට හිමිකම් කියන ඔවුන් තවමත් පසුවන්නේ දෙවන ස්ථානයේ ය.

ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානයේ දී පැවති බටහිර-ආසියානු කුසලාන බේස්බෝල්..

ඒ අනුව මේ වන විට බාලිකා අංශයේ සමස්ත ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමස්ත ලකුණු 367කට හිමිකම් කියන මහනුවර මහමායා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් වී ඇති අතර ඒ අනුව ඔවුන් විසාකා විද්‍යාලයට වඩා ලකුණු 86ක් ඉදිරියෙන් පසුවෙයි. දෙවන දිනය අවසන් වන විට සමස්ත ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකරගෙන සිටින්නේ සමස්ත ලකුණු 164කට හිමිකම් කියන කොළඹ කාන්තා විද්‍යාලය යි.

තරගාවලියේ පළමු දිනය අවසානයේ බාලක අංශයේ සමස්ත ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි කොළඹ ආනන්ද විද්‍යාලය තරගාවලියේ දෙවන දිනය අවසන් වන විට තෙවන ස්ථානය දක්වා පසුබැස ඇත්තේ, තෙවැනි ස්ථානයේ සිටි කොළඹ රාජකීය විද්‍යාලය පළමු දිනය අවසානයේ ඔවුන් අතර තිබූ ලකුණු 04ක පරතරය අභිබවමින් ඉදිරියට පැමිණීමත් සමඟ යි. ඒ අනුව ඔවුන් මේ වන විට සමස්ත ලකුණු 206කට හිමිකම් කියමින් දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. කෙසේ නමුත් බාලක අංශයේ සමස්ත ලකුණු සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ සමස්ත ලකුණු 326ක් හිමිකරගෙන සිටින කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය යි.   

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<