London Marathon සංවිධායකයන් වාර්තාවකට සැරසෙයි

216

මෙම වසරේ පැවැත්වීමට නියමිත සුප්‍රකට London Marathon තරගාවලිය සඳහා තරගකරුවන් 100,000 සහභාගි කරගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි එහි සංවිධායකයින් පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

මෙවර තරගාවලියේ ප්‍රධාන තරගාවලිය සඳහා තරගකරුවන් 50,000ක් සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන virtual මැරතන් තරගය සඳහා තරගකරුවන් 50,000ක් බැගින් සහභාගි කරගනිමින් මෙම වාර්තාව පිහිටුවීමට ඔවුන් සැලසුම් කර ඇත.

ලොව ප්‍රමුඛ පෙළේ මැරතන් තරග කිහිපයෙන් එකක් වන මෙම සුප්‍රකට London Marathon තරගයේ පසුගිය වසරේ අදියර කොරෝනා වසංගතය නිසාවෙන් සුපිරි ක්‍රීඩකයන්ට පමණක් සීමා කර පැවැත්වීමට සිදු විය.

එනමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති virtual තරගය සඳහා තරගකරුවන් 37,966ක් සහභාගි වූ අතර virtual තාක්ෂණය ඔස්සේ පැවති තරගයක් සඳහා සහභාගී වූ වැඩිම තරගකරුවන් සංඛ්‍යාව ලෙස ද එය ගිනස් වාර්තා අතරට එක් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

කොරෝනා වසංගතයට මේ වන විට විවිධ එන්නත් හඳුන්වා දෙමින් ඇති නිසාවෙන් මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත තරගාවලිය පෙර ආකාරයෙන්ම පැවැත්වීමට අවස්ථාවක් හිමි වනු ඇතැයි එහි සංවිධායකයින් බලාපොරොත්තුවෙන් පසු වේ.

London Marathon මැරතන් තරගාවලියේ මෙවර අදියර පිළිබඳව අදහස් දක්වමින් එහි ප්‍රධාන සංවිධායක Hugh Brasher ප්‍රකාශ කර සිටියේ මේ වන විට කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ කර ඇති නිසාවෙන් මෙවර තරගාවලිය 100,000ක වාර්තාගත තරගකරුවන් පිරිසක් සහභාගි කරගනිමින් පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

මෙවර London Marathon මැරතන් තරගය ඔක්තෝබර් 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර virtual මැරතන් තරගය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය තරග දුර සම්පූර්ණ කිරීමට පැය 24ක කාලයක් හිමි වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<