ඔලිම්පික් ශූරියට තාවකාලික තහනමක්

188

තහනම් උත්තේජක නීති උල්ලංඝනය කළ කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඔලිම්පික් ශූරිය වන ඇමරිකානු ක්‍රීඩිකා Brianna McNeal හට තාවකාලික තහනමක් පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය පසුගිය දා කටයුතු කරන ලදි.

ඇයගේ තහනම පිළිබඳව දැනුවත් කරමින් මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය සඳහන් කර තිබුණේ ඇය විසින් තහනම් උත්තේජක පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත මෙම තහනම පැනවීමට තීරණය කළ බවයි.

එම චෝදනාව පිළිබඳව පරීක්ෂණ නිමා වන තුරු ඇයට කිසිදු මලල ක්‍රීඩා ක්‍රියාකාරකමකට සහභාගි වීමට අවස්ථාවක් හිමි නොවන අතර යම් හෙයකින් එම චෝදනාවට ඇය වැරදිකරු වුවහොත් වසර අටක තහනමක් හිමි වීමට වැඩි ඉඩකඩක් පවතී.

තවත් මලල ක්රීඩා පුවත්:

ඉහත චෝදනාවන්ට වැරදිකරු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වසර 4ක අවම තරග තහනමක් හිමි වන අතර Brianna McNeal මීට පෙර තහනමකට ලක්ව ඇති නිසාවෙන් ඇයට වසර අටක අවම තහනමකට යටත් වීමට සිදු වනු ඇත.

1991 වසරේ ඇමරිකාවේ දී උපත ලද Brianna McNeal මීටර් 60 ගෘහස්ථ ඉසව්වෙහි සහ මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙහි ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර 2016 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වෙහි රන් පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් විය.

පසුව තහනම් උත්තේජක පරීක්ෂා මගහැරීම නිසාවෙන් 2017 වසරේ දී ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට ඇයට සිදු වූ අතර 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී වැරදි ආරම්භයක් ලබා ගැනීම නිසාවෙන් තරගයෙන් ඉවත් වීමට ද සිදු විය.

මෙම තහනමත් සමඟ Brianna McNeal හට මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අවස්ථාව බොහෝ දුරට අහිමි වනු ඇත.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<