තහනම් උත්තේජක මර්දනයට නව පරීක්ෂණාගාරයක්

177

අප්‍රේල් 09 වැනිදාට යෙදෙන ලෝක උත්තේජක මර්දන දිනයට සමගාමීව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව පර්යේෂණාගාරය විවෘත කිරීම අද (09) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

පෙරවරු 11.30ට යෙදුණු සුබ මොහොතින් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව පර්යේෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද එක්ව සිටියා.

නවීන තාක්ෂණය යටතේ ඉදිකෙරුණු මෙම පරීක්ෂණාගාරය නවීන විද්‍යාගාර උපකරණ වලින් සමන්විත වන නිසාවෙන් පෙරට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.

එමෙන්ම මෙහි ස්ථාපිත Liquid Chromatography Tandem Mass Spectrophotometer වැනි අධිතාක්ෂණික උපකරණ මගින් පර්යේෂණ සාම්පලවල තහනම් උත්තේජක තිබේ දැයි වඩාත් නිවැරදිව සහ ඉක්මනින් හඳුනා ගත හැක.

එමෙන්ම මෙහි පර්යේෂණ ඔස්සේ ප්‍රධාන වශයෙන් ස්වාභාවික නිෂ්පාදනවල අඩංගු විය හැකි තහනම් ද්‍රව්‍ය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත වේ.

තවද ප්‍රජා පර්යේෂණ ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක භාවිතයට ඇති නැඹුරුතාවය අධ්‍යයනය කිරීම ද මෙම නව ඒකකය හරහා සිදු වේ.

ඒවාට අමතරව දේශීය ඖෂධ පිළිබඳව සහ ආහාර අතිරේකවල අඩංගු විය හැකි තහනම් ද්‍රව්‍ය හඳුනා ගැනීම, තහනම් උත්තේජක පරීක්ෂණ සහ තහනම් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ නව ප්‍රවණතා SLADA පර්යේෂණ ඒකකය මගින් සිදු කිරීමට අපේක්ෂා කරයි.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම එම අවස්ථාව සඳහා සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඔලිම්පික් ජයග්‍රහණ‍ සඳහා සූදානම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික දැනුම දීම උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වගකීමක් බවයි.

“ක්‍රීඩාවක දී උත්තේජක භාවිතය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. උත්තේජක භාවිතයේ විපාක පිළිබඳව ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මනා ලෙස දැනුවත් කිරීම අවශ්‍යයි.

ක්‍රීඩා පාසලකින් 08 ශ්‍රේණියේ සිට ක්‍රීඩකයකු ගොඩනඟන්නේ අවුරුදු 10ක දී ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහායි. එහි දී එම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව හඳුනා ගැනීම, ඔවුන් සතු ක්‍රීඩා හැකියාව දියුණු කිරීම, ඒ් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමේ වගකීමත් මෙම ආයතනයට පැවරෙනවා.

ඒ් සඳහා මෙහි කරන පර්යේෂණ පදනම් කරගෙන දක්ෂ ක්‍රීඩකයන් ගොඩනැඟීම, ඔවුන්ගේ පෝෂණ රටාව ගොඩනැගීම, ක්‍රීඩා පිටියේ පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වල දී වුවද ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

පසුගිය දිනවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තා තැබුවා. එසේම පැවති ජාතික වාර්තා අලුත් කළා. ඉදිරියේ දී අපට ඒ්වා ලෝක වාර්තා බවට පත්කිරීමට හැකියාව ලැබෙයි කියා මා විශ්වාස කරනවා” යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම, ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතා ඇතුළු ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වී සිටියා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<