Dhoniට විශේෂ සැත්කමක්

517
MS Dhoni has successfully undergone knee surgery

හිටපු ඉන්දීය නායක සහ සුපිරි පිතිකරු MS Dhoni පාදයේ සැත්කමකට භාජනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඔහු පසුගිය 29 වැනිදා මුම්බායි නුවර රෝහලක දී මෙම සැත්කම සිදු කර තිබෙන අතර එම සැත්කම ඔහුට සිදු කිරීම මඟින් ඔහු තවත් ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු ඉහළ යනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය සඳහා Chennai Super Kings මෙහෙය වීමෙන් පසු ඔහු රෝහල් ගත වී ඇති අතර ඉන්දීය ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඔහු මෙම සැත්කම සිදු කර තිබෙනවා.

මෙම පුවත පිළිබඳ නිල වශයෙන් තහවුරු කරමින් Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධානියෙකු වන Kasi Viswanathan ප්‍රකාශ කළේ,

“ඔව්, MS Dhoni පසුගිය දා මුබ්බායි නුවර රෝහලක දී සාර්ථක පාදයේ සැත්කමකට සහභාගී වුනා. මට තවමත් එම ආබාධයේ සහ සැත්කමේ ස්වභාවය සහ අනෙක් විස්තර ලැබී නැහැ,” යනුවෙනුයි.

තවත් Chennai Super Kings කණ්ඩායමේ නිලධාරියෙකුට අනුව ඔහු මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබෙන අතර මෙම සැත්කම මගින් ඔහුට මීළඟ ඉන්දිය ප්‍රිමියර් ලීග් තරග වාරය වන විට සම්පූර්ණ යෝග්‍යතාවයට පැමිණීමට හැකි වෙනවා.

අවසන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු පාදයට ආරක්ෂිත ආවරණයක් යොදා ගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර එය ඔහුගේ කඩුලු රැකීමට බාධාවක් සිදු නොවුනත් ඔහු පිතිකරණයට පැමිණියේ අංක 08 ස්‍ථානයේයි.

තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව ඔහු සිය සමුගැනීම පිළිබඳ අදහස් දැක්වූවත්, ඔහු මීළඟ තරග වාරය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසු වන බව ද වාර්තා වෙනවා.

“ඔබ අහම්බෙන් හරි මේක දැක්කොත් මේක තමයි සමුගන්න ලැබෙන හොඳම වෙලාව. ස්තුතියි කියලා සමුගන්න එක තමයි මට ලැබෙන ලේසිම දේ. නමුත් අමාරු දේ තමා තවත් මාස නවයක් මහන්සි වෙලා තවත් තරගාවලියක් ක්‍රීඩා කරන එක. නමුත් කණ්ඩායම් සඟයන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආදරයට දෙන තෑග්ගක් විදියට තවත් තරග වාරයක් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔවුන් මට ආදරය සහ ගෞරවය පෙන්වන විදියට මට ඕන එයාලා වෙනුවෙන් මේ දේ කරන්න. මේක මගේ ක්‍රීඩා ජීවිතේ අවසාන අදියර. මම චෙන්නයි වල ක්‍රීඩා කරද්දී මගේ නම ඇහෙන එක සාමාන්‍ය දෙයක් ඒත් දැන් ඒක මම කොහේ ක්‍රීඩා කළත් දකින්න ලැබෙන එක විශාල සතුටක්,” යැයි Ms Dhoni ප්‍රකාශ කළා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලොව නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<