Messi තවත් කඩඉමක් පසු කරයි

92

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ 100 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා.

Curacao කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කළ අතර එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ආජන්ටිනා කණ්ඩායමට හැකි වුනා.

වයස අවුරුදු 17 දී එනම් 2006 දී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි Lionel Messi ඊයේ තරගයේ දී මිනිත්තු 37ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන එන්නට සමත් වුනා.

එය ඔහු ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා කළ හත්වැනි ගෝල ත්‍රිත්වය එය වූ අතර තරගයෙන් පසු අදහස් දක්වමින් ප්‍රතිවාදී ගෝල රකින්නා ප්‍රකාශ කළේ, Messi පිළිබඳ වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

“ඔහු තමා ලෝකේ හොඳම ක්‍රීඩකයා. මේ තරගයෙන් පස්සේ ඔහු ඒක ආයෙත් පාරක් ඔප්පු කළා. ඔහු පන්දුව ස්පර්ශ කරන හැම වෙලාවෙම ඔබට සිනහවක් ගෙන එනවා.”

Messi ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභියා වන අතර ඔහුට පසුව සිටින ක්‍රීඩකයා වාර්තා කර ඇත්තේ ගෝල 56ක් පමණක් වීම විශේෂත්වයක්.

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ආජන්ටිනා ක්‍රීඩකයින් සහභාගී වූ දෙවැනි තරගය මෙය වූ අතර එහි දී Messi සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉම පසු කිරීම කැපී පෙනුණා.

ඊයේ ලබා ගත් ගෝල ත්‍රිත්වයත් සමඟ ජාත්‍යන්තර පිටියේ වැඩිම ගෝල ලබා ගත් (102) ක්‍රීඩකයින් අතර මේ වන විට තෙවැනි ස්ථානයේ Messi සිටින අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉරාන ක්‍රීඩක Ali Daei (109) සහ පෘතුගාල ක්‍රීඩක Cristiano Ronaldo (122) පමණයි.

ලෝක කුසලානයෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ පළමු තරගයේ දී පැනමාවට එරෙහිව සිය ක්‍රීඩා දිවියේ 800 වැනි ගෝලය වාර්තා කිරීමට Messi සමත් වුනා.

එම තරගයෙන් පසු පැවති මෙම තරගයේ දී සිය ප්‍රතිවාදීන් වූ Curacao ලෝක ශ්‍රේණිගත කිරීමේ 86 වැනි ස්ථානයේ පසු වූ අතර තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ගෝල ලබා ගැනීම ආරම්භ කළේ Messi විසිනුයි.

N. González විසින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කළ අතර 33 වැනි සහ 37 වැනි මිනිත්තුවේ දී ගෝල වාර්තා කරමින් සිය ගෝල ත්‍රිත්වය සම කිරීමට Messiට හැකි වුනා.

ආජන්ටිනා ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ගෝල පහක් වාර්තා කිරීමට සමත් වූ අතර දෙවැනි අර්ධයේ දී ඔවුන් ගෝල පහක් වාර්තා කළා.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<