UEFA යෝජනාව Real Madrid ඉවත දමයි

162

2022 UEFA ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේ දී සිදු වූ සිදුවීමට අදාළව ප්‍රේක්ෂකයින්ට සිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ලබා දෙමින් වන්දි ගෙවීමට යුරෝපා පාපන්දු සම්මේලනය සිදු කළ යෝජනාව Real Madrid බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Liverpool කණ්ඩායම සමඟ පැවති එම තරගය ජයග්‍රහණය කරමින් ශූරයින්ගේ කිරුළ දිනා ගැනීමට Real Madrid ක්‍රීඩකයින් සමත් වූ අතර තරගය ආරම්භ වීමට පෙර Liverpool ප්‍රේක්ෂකයින් සහ ආරක්ෂක අංශ අතර ක්‍රීඩාංගණයෙන් පිටත ගැටුම් ඇති වනු දක්නට ලැබුණා.

පසුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම සිදුවීමෙන් පීඩාවට පත් වූ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ලබා දීමට කටයුතු කරන බව යුරෝපා පාපන්දු සම්මේලනය නිවේදනය කළා.

“යුරෝපා පාපන්දු සම්මේලනය විසින් පසුගිය දා සිදු කළ යෝජනාව ප්‍රමාණවත් නොවන බව අප ක්‍රීඩා සමාජය විශ්වාස කරනවා. එය සම්පූර්ණයෙන්ම ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ලබා දීම සම්බන්ධයෙන් වන අතර එයට ක්‍රීඩාංගණයට ඇතුළත් වූ වෙලාව පිළිබඳ සාක්ෂි සැපයීම ඇතුළු අවශ්‍යතා මාලාවක් සපුරාලීමට යටත් වෙනවා.

සියලු ප්‍රේක්ෂකයින් තරගය ප්‍රමාද වීමේ ගැටලුවට මුහුණ දුන්නා. ක්‍රීඩාංගණයට ඇතුළු වීම වගේම පිටවීමේත් අනාරක්ෂිත බවක් තිබුණා වගේම සොරකම් කිරීම්, පහර දීම් වැනි දේවල් ද තිබුණා.

එම නිසා අප තීරණය කළා යුරෝපා පාපන්දු සංගමය ඉදිරිපත් කළ යෝජනාවට මෙම හේතු නිසා සහය දෙන්නේ නැහැ කියලා. එම නිසා මෙහි සම්පූර්ණ වගකීම භාර ගන්න කියලා යුරෝපා සංගමයට අපි ප්‍රකාශ කරනවා,” යැයි Real Madrid නිලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම සිදුවීමෙන් බලපෑමට පත් වූ ප්‍රේක්ෂකයින්ට සිය ප්‍රවේශ පත්‍ර මුදල් ලබා ගැනීමට සහයෝගය ලබා දෙන බව ද Real Madrid බලධාරීන් ප්‍රකාශ කළා.

මෙම අවසන් මහා තරගය ආරම්භ වීමට පෙර සිදු වූ කලහකාරී තත්වය පිළිබඳ යුරෝපා පාපන්දු සම්මේලනය Liverpool ප්‍රේක්ෂකයින්ට චෝදනා කළ අතර එයට විරුද්ධව අදාළ ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් නඩු මාර්ගයට යන බව ද ප්‍රකාශ කර තිබුණා.

පසුව මෙය පිළිබඳ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව එම සිදු වීමේ වරද යුරෝපා පාපන්දු සම්මේලනය සතු බවට ප්‍රකාශ කළ අතර එයින් පසු යුරෝපා පාපන්දු සංගමය අදාළ ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටියා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<