LPL වෙන්දේසියට පෙර රඳවා ගත් ක්‍රීඩක නාමලේඛනය

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3910

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ‘Player Draft’ අද (05) සවස ආරම්භ වීමට නියමිතයි.

Jaffna Kings, Galle Gladiators, Dambulla Giants, Colombo Stars සහ Kandy Falcons විසින් රඳවා ගත් සහ වෙන්දේසිය ආරම්භ වීමට පෙර කණ්ඩායම් වෙත එක් කර ගත් ක්‍රීඩක ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෑම කණ්ඩායමකට පෙර තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙක් සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් සමඟ ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායමේ රඳවා තබා ගැනීමට හැකි අතර සෘජු එක්කර ගැනීම් (Direct signings) ඔස්සේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායමට එක්කර ගැනීමට අවසර හිමිව තිබෙනවා.

තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings නායක තිසර පෙරේරා, දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, අශාන් රන්දික සහ විදෙස් ක්‍රීඩකයින් වන Rahmanullah Gurbaz සහ Shoaib Malik රඳවා ගැනීමට Jaffna Kings තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් මෙවර අදියර සඳහා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ විදෙස් ක්‍රීඩකයින් වන Hardus Vilojen සහ Evin Lewis කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක නායකත්වය දැරූ Dambulla Giants විසින් දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප් සහ තරිඳු රත්නායක සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමට තීරණය කර ඇති අතර නවක ක්‍රීඩකයින් ලෙස ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ben Cutting කණ්ඩායමට එකතු කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

තරගාවලියේ දෙවතාවක්ම අනුශූරයින් වූ Galle Gladiators මේ දක්වා ක්‍රීඩකයින් 9 දෙනෙකු කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයක්. ඔවුන්ගේ කණ්ඩායමේ පසුගිය වසරේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ගෙන් රඳවා ගත් ක්‍රීඩකයින් වුනේ Sarfraz Ahmed, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නුවන් තුෂාර සහ පුලින තරංග පමණයි.

එමෙන්ම ඔවුන් මෙවර තරගාවලිය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්, පකිස්තාන ක්‍රීඩක Faheem Ashraf සහ Imad Wasim කණ්ඩායම එක් කර තිබෙනවා.

Kandy Falcons විසින් ප්‍රබල දේශීය තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න සමඟ ගිවිසුම් ගත වී ඇති අතර පෙර කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් අතරින් කමිඳු මෙන්ඩිස් කණ්ඩායම තුළ රඳවා ගෙන තිබෙනවා.

Kandy Falcons මෙවර තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලෙස බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක Carlos Brathwaite සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Chris Green සංචිතයට එක් කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සික්කුගේ ප්‍රසන්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ Colombo Star විසින් රඳවා ගනිද්දී, නව ක්‍රීඩකයින් ලෙස චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Dwaine Pretorius කණ්ඩායමට එක්ව එකතු කරගෙන තිබෙනවා.

ක්‍රීඩක කෙටුම්පත්කරණයට (Player Draft)  පෙර කණ්ඩායම්,

  • Jaffna Kings: තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අශාන් රංදික, Rahmanullah Gurbaz, Shoaib Malik, Hardus Vilojen, Evin Lewis
  • Colombo Stars: ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, චරිත් අසලංක, Dwaine Pretorius
  • Galle Gladiators: ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, නුවන් තුෂාර, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, පුලින තරංග, Sarfraz Ahmed,Faheem Ashraf, Imad Wasim.
  • Dambulla Giants: දසුන් ශානක, භානුක රාජපක්ෂ, රමේෂ් මෙන්ඩිස්, නුවන් තුෂාර, තරිඳු රත්නායක, Ben Cutting
  • Kandy Falcons: වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, Carlos Brathwaite, Chris Green

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 31 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<