දඹුල්ලේ දී ඇවිලෙන ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස සටන

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

786

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මේ තරගාවලියට එක් වෙන්නේ ද්විත්ව තරගාවලියක දී 2014/15 තරග සමයේ දී පාකිස්තානයට එරෙහිව 2-1ක් ලෙසින් තරගාවලියක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව තරගාවලි 11ක දී පරාජය වී ඇති අතර අවසන් වරට මේ වසරේ පැවති පාකිස්තානය හා සමඟ තරගාවලිය ද 3-0ක පරාජයක් ලැබුවා.

ඉන්දියාව ද මේ තරගාවලියට එක් වෙන්නේ ද්විත්ව තරගාවලි 4ක පරාජයන් ලැබීමෙන් අනතුරුවයි. එබැවින් දෙපිලේ ම ක්‍රීඩිකාවෝ මේ තරගාවලියේ දී තම දක්ෂතා උපරිමයෙන් දක්වමින් තම පරාජයන්ට තිත තැබීමට උත්සාහ කරනු ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ මෙවර එකිනෙකා හමුවෙන්නේ සිව් වසරකට පසුව ය. දෙරට අතර අවසන් වරට තරගාවලියක් පවත්වා ඇත්තේ 2018 වසරේ දී වන අතර එහි දී තරග 5කින් යුත් තරගාවලියේ 4-0ක ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීමට අපේ ක්‍රීඩිකාවන්ට සිදු වෙනවා.

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් වරට තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ 2013/14 වසරේ දී. ඒ 2-1ක් ලෙසයි.

කෙසේ වෙතත් දෙරට අතර තරග දක්ෂතා ගැන විමසිලිමත් වීමේ දී සෑම මාතෘකාවක් යටතේ ම ඉන්දීය ඉතිහාසයත්, ඉන්දීය ක්‍රීඩිකාවෝත් ඉදිරියෙන් සිටිනවා.

ඒ අනුව ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 133කට ක්‍රීඩා කරමින් ඔවුන් ඉන් තරග 69ක් ජයග්‍රහණය කරනවා. පරාජය වී ඇති තරග සංඛ්‍යාව 61ක් වන අතර තරග 3ක් විසඳුමකින් තොරව අවසන් වෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අපේ ක්‍රීඩිකාවෝ තරග 107ක සහභාගී වී ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ තරග 28ක් පමණක් වන අතර තරග 75ක් පරාජය වී ඇත. විසඳුමකින් නිමා වී ඇති තරග ප්‍රමාණය 4ක්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සම්පූර්ණ ලැයිස්තුව එසේ සැකසෙද්දී දෙරට අතර මේ දක්වා පවත්වා ඇත්තේ විස්සයි විස්ස තරග 18ක් පමණයි. ඉන් තරග 3ක් පමණක් අපේ ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරද්දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ තරග 14ක් ජයග්‍රහණය කරනවා. එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වූ තරගයක් ලෙසින් සටහන් වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සංචිතය

චමරි අතපත්තු (නායිකාව), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, විෂ්මි ගුණරත්න, අමා කාංචනා, හංසිමා කරුණාරත්න, අචිනි කුලසූරිය, සුගන්ධිකා කුමාරි, හර්ෂිතා මාධවී, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී, ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, සත්‍යා සංදීපනී, අනුෂ්කා සංජීවනී, මල්ෂා ෂෙහානි, තාරිකා සෙව්වන්දි

චමරි අතපත්තු

ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී ඇත්තේ නායිකා 32 හැවිරිදි වියේ පසුවන චමරි අතපත්තුගේ දක්ෂතා මත යන්න කාගේත් විශ්වාසයයි. මේ දක්වා ඇය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 92කට ක්‍රීඩා කර ඇති අතර ලබා සිටින ලකුණු සංඛ්‍යාව 1915ක්. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස පිටියේ රැස් කරගෙන ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

මේ ලකුණු ප්‍රමාණයට ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 113ක් ඇතුළත් වන අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වාර්තා කරන ලද පළමු සහ එක ම ශතකය ලෙසින් ද සටහන් වෙනවා. ඇය සතුව තවත් අර්ධ ශතක 4ක් ද තිබෙනවා.

දකුණතින් පිට දඟපන්දු යවන ඇය මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 30ක්.

එමෙන් ම 7 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායිකා ලැයිස්තුවේ මේ දක්වා තරග 46ක දී නායකත්වය දරා ඇති චමරි ඉන් තරග 13ක් ජයග්‍රහණය කරද්දී තරග 32ක් පරාජය වෙනවා. තරගයක් විසඳුමකින් තෙරයි.

මෙරට ක්‍රීඩිකාවන් අතරින් විස්සයි විස්ස පිටියේ වැඩිම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාව සේ ම වැඩිම වාර ප්‍රමාණයක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමෙන් ද යුත් චමරිට මේ තරගාවලිය තවත් වැදගත් වන්නේ ඇයට විස්සයි විස්ස පිටියේ ලකුණු 2000 සීමාවට පිවිසීමට තවත් ඇත්තේ ලකුණු 85ක් පමණක් හේතුවෙන්.

හසිනි පෙරේරා

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකාරිනිය වන ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 440ක්.

එහි ඉනිමක සාමාන්‍ය 12.22ක් වන අතර ඉනිමක ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් හැඳින්වෙන්නේ 2018 වසරේ දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 46යි.

නිලක්ෂි ද සිල්වා

දකුණත් පිතිකාරිනියක් සහ දකුණතින් මද වේගපන්දු යවන්නියක් ලෙසින් කණ්ඩායමට එක් වී සිටින නිලක්ෂි මෙතෙක් විස්සයි විස්ස තරග 46කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 409ක් සහ කඩුලු 11ක්.

පිතිකාරිනියක් ලෙසින් ඇය ඉනිමක දී ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වෙන්නේ මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව මේ වසරේ දී නොදැවී ලබා ගත් ලකුණු 49යි.

ඕෂදී රණසිංහ

වමත් පිතිකාරිනියක් සහ දකුණතින් පිට දඟපන්දු යවන ඕෂදී රණසිංහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතරින් ඉහළින් ම ඇගයෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට ක්‍රීඩා කරමින් ලකුණු 232ක් ලබා ගනිමින් කඩුලු 36ක් ලබා සිටිනවා.

උදේශිකා ප්‍රබෝධනී

වමතින් මද වේගපන්දු යවන උදේශිකා මේ දක්වා තරග 76ක දී කඩුලු 51ක් ලබා සිටිමින් කණ්ඩායමට එක් වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා සිටින්නිය ලෙසයි. ඇයගේ දක්ෂතා අතර ඉහළින් ම ලියැවෙන්නේ 2014 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 16කට ලබා ගත් කඩුලු 3යි.

සුගන්ධිකා කුමාරි

වමතින් දඟපන්දු යවන සුගන්ධිකා කුමාරි ද කණ්ඩායමේ ප්‍රමුඛතම දඟපන්දු යවන්නිය ලෙසින් හැදින්විය හැකියි. ඇය මේ දක්වා තරග 41කට ක්‍රීඩා කරමින් කඩුලු 28ක් ලබා සිටිනවා.

කෝඩුකාරියන්

තවමත් 16 වැනි වියේ පසුවන විෂ්මි ගුණරත්න ද කණ්ඩායමට නම් කර ඇති ළාබාලතම ක්‍රීඩිකාවයි. මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4කට ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 50ක්. පාසල් ක්‍රිකට් පිටියේත් ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිටියේත් දක්ෂතා දක්වා ඇති අය බලාපොරොත්තු තබා ගත හැකි නවක ක්‍රීඩිකාවක් ලෙසින් හැදින්විය හැකියි.

එමෙන් ම 22 හැවිරිදි වියේ පසුවෙන සත්‍යා සංදීපනී තමන්ට අවස්ථාවක් ලදොත් එය උපරිමයෙන් ඉටු කිරීමට සූදානමින් සිටින ක්‍රීඩිකාවක් ලෙසින් හැදින්විය හැකියි. වේගයෙන් පන්දුවට පහර දෙන්නියක් ලෙසින් හැඳින්වෙන සත්‍යා සංදීපනී මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් පමණයි.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස සංචිතය:

Harmanpreet Kaur (නායිකාව), Smriti Mandhana, Simran Bahadur, Yastika Bhatia, Rajeshwari Gayakwad, Richa Ghosh, Sabbhineni Meghana, Meghna Singh, Poonam Yadav, Renuka Singh, Jemimah Rodrigues, Shafali Verma, Deepti Sharma, Pooja Vastrakar, , Radha Yadav

Harmanpreet Kaur

33 හැවිරිදි තුන් ඉරියව්වේ දක්ෂතා දක්වන Harmanpreet Kaur ඉන්දියාව වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාව ලෙසින් හැඳින්වේ. ඇය මේ දක්වා තරග 121කට සහභාගී වී ලකුණු 2319ක් ලබා ගනිමින් ඉන්දීය ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභිනියන් අතර දෙවැනි තැන පත් වෙනවා. ඇයගේ මේ ලකුණු අතර ශතකයක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්.

එමෙන් ම දකුණතින් පිට දඟපන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ දක්වා කඩුලු 30ක් ලබා ගෙන තිබෙනවා.

ඇය තමන් සහභාගී වූ අවසන් විස්සයි විස්ස ඉනිම් 3 දී ලකුණු 151ක් රැස් කරන්නේ ඊට අර්ධ ශතකයක් ද එක් කරමින්.

එමෙන් ම 5 දෙනෙක්ගෙන් යුත් ඉන්දීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දක්වන්නේ ද ඇයයි. මේ දක්වා තරග 66ක දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇති ඇය ඉන් ජයග්‍රහණ 39ක්, පරාජයන් 24ක් සහ විසඳුමකින් තොර 3ක් ලෙසින් තරග අවසන් කර ඇත. තරග ජයග්‍රහණයේ ප්‍රතිශතය 61.90%ක් ලෙසින් තබා ගෙන තිබෙනවා.

Smriti Mandhana

25 හැවිරිදි ඇය කණ්ඩායමේ උප නායිකාව ද ඇය ආරම්භක පිතිකාරිනියයි. මේ දක්වා විස්සයි විස්ස තරග 84කට සහභාගී වෙමින් අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 1971ක් ලබා සිටිනවා. ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ තුන් වැනි තැන හිමි වී ඇත්තේ ඇයට.

Jemimah Rodrigues

දකුණත් පිතිකාරිනියක් සහ දකුණතින් පිට දඟපන්දු යවන ඇයට මැදපෙළ ශක්තිමත් කරන පිතිකාරිනියන් අතර වැදගත් තැනක් හිමිවෙනවා. ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ සිව්වැනියා වෙමින් ඇය මේ දක්වා ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1055ක්. ඒ තරග 50කට සහභාගී වෙමින් ඉන් ඉනිම් 6ක දී අර්ධ ශතක වාර්තා කරමින්.

Poonam Yadav

30 හැවිරිදි පා දඟපන්දු යවන Poonam Yadav ඉන්දීය කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමුවැනියා. මේ දක්වා තරග 72කට සහභාගී වී ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 98ක්.

Deepti Sharma

වමතින් පිත්ත හසුරුවමින් දකුණතින් පිට දඟපන්දු යවන Deepti Sharma මේ දක්වා තරග 58කට ක්‍රීඩා කරමින් ලකුණු 498ක් සහ කඩුලු 60ක් ලබා සිටිනවා. කඩුලු ලාභීන් අතර ඉන්දිය ඉතිහාසයේ දෙවැනි වී ඇත්තේ ඇයයි.

Radha Yadav

22 හැවිරිදි වමතින් දඟපන්දු යවන ඇය මේ දක්වා තරග 40කට සහභාගී වෙමින් කඩුලු 52ක් ලබා සිටින අතර පිතිකාරිනියක් ලෙසින් ද අවශ්‍ය අවස්ථාවල දී දක්ෂතා දැක්වීමට හැකියාවක් ඇත්තියක ලෙසින් හැඳින්වෙනවා.

තරග කාලසටහන

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 – දඹුල්ල
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 25 – දඹුල්ල
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 27 – දඹුල්ල

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<