Home Sinhala නුවර පසුපෙළ වෑයම අපතේ යවමින් ජයග්‍රහණය දඹුල්ලට

නුවර පසුපෙළ වෑයම අපතේ යවමින් ජයග්‍රහණය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

1588

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (06) Kandy Warriors සහ Dambulla Giants කණ්ඩායම් අතර පැවැත්වුනු අතර එම තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට Dambulla Giantsට හැකි වුනා.

දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් Dambulla Giants නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස් කර ගත් අතර පිළිතුරු ඉනිම දියත් කළ Kandy Warriors නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී වාර්තා කර ගත්තේ ලකුණු 170ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Kandy Warriors: Kennar Lewis, Asela Gunaratne, Charith Asalanka, Rovman Powell, Devon Thomas, Angelo Perera (c), Ishan Jayaratne, Kamindu Mendis, Al-Amin Hossain, Lahiru Kumara, Sachindu Colombage

Dambulla Giants: Phil Salt, Najibullah Zadran, Niroshan Dickwella (wk), Dasun Shanaka (C), Sohaib Maqsood, Sacha de Alwis, Nuwanidu Fernando, Chamika Karunaratne, Ramesh Mendis, Imran Tahir,  Nuwan Pradeep.

Dambulla Giants වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල සහ Phil Salt ඔවුන්ගේ ඉනිම ආරම්භ කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 46ක් තුළ වේගවත් ලකුණු 97ක සුපිරි සබදතාවයක් ගොඩනැංවූවා.

එසේම ඔවුන් දෙදෙනා Powerplay පන්දුවාර 6 තුළ දී නිලකුණු පන්දු 8ක් පමණක් වැය කරමින් ලකුණු 74ක් වාර්තා කළා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට පහසුවෙන්ම ලබා ගැනීමට හැකිව තිබූ ශතක සබඳතාවය මඟ හරමින්, 4 පහර 6ක් සමඟ පන්දු 23ක දී ලකුණු 37ක් රැස් කරගෙන සිටි දික්වැල්ලගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුනා.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 19 වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් 25 හැවිරිදි Phil Salt ප්‍රතිවාදී පන්දු යවන්නන් වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වුනේ පන්දු යවන්නන්ට කිසිඳු සමාවක් ලබා නොදෙමින්.

පසුගිය දා නිමාව දුටු 2021-22 T10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු Salt, එම රිද්මය තවදුරටත් පවත්වා ගෙන යමින් පන්දු 27ක් තුළ වේගවත් ලකුණු 64ක් රැස්කර ගත්තා. ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 4ක් සහ යෝධ 6 පහර 5ක් ඇතුළත් වුනා.

Dambulla Giants කණ්ඩායමේ පළමු කඩුලු 2 දැවී යාමෙන් පසුව ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය පළමු පන්දුවාර 10ට සාපේක්ෂව යම් අඩුවක් දැකගන්නට හැකි වුනා. එසේම පළමු පන්දුවාර 9 තුළ Dambulla Giants එක් පන්දුවාරයකට රැස් කරගෙන තිබුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුනේ ලකුණු 8යි.

නායක දසුන් ශානක පන්දු 18ක දී ලකුණු 24ක් රැස් කරගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ අතර රමේෂ් මෙන්ඩිස් ඔවුන්ගේ කණ්ඩායමේ ලකුණු සටහන සාර්ථක මට්ටමක් වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය පසුපෙළ සවිය ලබා දුන්නේ පන්දු 11ක් තුළ ලකුණු 22ක් වාර්තා කරගෙනයි.

පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව Al-Amin Hossain කඩුලු 2ක් දවා ගත්තා.

කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් සමඟ සිය පිළිතුරු ඉනිම සඳහා ආරම්භය ලබා ගත් Kandy Warriorsට අද දිනය තුළ දී සාර්ථක මුල්පෙළ සබඳතාවයන් ගොඩනංවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහි දී පළමු පන්දු 19ක් තුළ ඔවුන්ගේ පළමු කඩුලු 3 දැවී ගොස් තිබුණු අතර එහි දී ඔවුන් රැස් කරගෙන තිබුණේ ලකුණු 28ක් පමණයි.

අනතුරුව නායක ඇන්ජලෝ පෙරේරා සමඟ එක්වූ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 37ක දී ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් තරගකාරීත්වයක් ලබා දිය හැකි මට්ටමක් දක්වා සිය කණ්ඩායම රැගෙන ගියා. නමුත් ලකුණු 22ක් රැස් කරගෙන සිටි නායක ඇන්ජලෝගේ දැවී යාමත් සමඟම එම සබඳතාවය බිඳ වැටුණා.

කෙසේ වෙතත් Kandy Warriors කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට සාපේක්ෂව පසුපෙළ පිතිකරුවන් මේ තරගයේ දී ඉතාමත් වගකීම් සහගතව පිතිකරණයේ නිරත වුනා.

ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් Rovman Powell 4 පහරක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 21ක දී ලකුණු 42ක් වාර්තා කරගැනීමට සමත්කම් දැක්වූවා.

සචිඳු කොළඹගේ සහ ඉශාන් ජයරත්න පිළිවෙළින් ලකුණු 27*ක් සහ ලකුණු 18ක් රැස් කරගෙන ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ නමුත් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට එම ඉනිම කිහිපය පමණක් ප්‍රමාණවත් වූයේ නැහැ. අවසානයේ ඔවුන් සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී වාර්තා කර ගත්තේ ලකුණු 170ක් පමණයි.

මේ තරගය පුරාවට කණ්ඩායම් දෙකේම පන්දු රැකීම ඉතාමත් හොඳ මට්ටමක තිබුණු අතර රමේෂ් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් Dambulla Giants වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

237.03ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් Dambulla Giants වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වුනු Phil Salt තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.


Result


Dambulla Aura
190/7 (20)

Kandy Falcons
170/8 (20)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c & b Lahiru Kumara 37 23 0 0 160.87
Phil Salt c & b Al-Amin Hossain 64 27 0 0 237.04
Sohaib Maqsood c & b Sachindu Colombage 11 11 0 0 100.00
Dasun Shanaka c & b Rovman Powell 24 18 0 0 133.33
Sacha De Alwis c & b Lahiru Kumara 6 7 0 0 85.71
Najibullah Zadran c & b Lahiru Kumara 2 5 0 0 40.00
Nuwanidu Fernando c & b Al-Amin Hossain 7 9 0 0 77.78
Chamika Karunaratne not out 8 9 0 0 88.89
Ramesh Mendis not out 22 11 0 0 200.00


Extras 9 (b 4 , lb 0 , nb 0, w 5, pen 0)
Total 190/7 (20 Overs, RR: 9.5)
Bowling O M R W Econ
Ishan Jayaratne 3 0 22 0 7.33
Lahiru Kumara 4 0 34 3 8.50
Asela Gunarathne 2 0 26 0 13.00
Al-Amin Hossain 4 0 36 2 9.00
Sachindu Colombage 4 0 46 1 11.50
Kamindu Mendis 1 0 10 0 10.00
Rovman Powell 2 0 12 1 6.00


Batsmen R B 4s 6s SR
Kennar Lewis c & b 17 10 0 0 170.00
Devon Thomas † b 2 3 0 0 66.67
Charith Asalanka c & b 5 4 0 0 125.00
Angelo Perera st Niroshan Dickwella b Ramesh Mendis 24 21 0 0 114.29
Kamindu Mendis st Niroshan Dickwella b Ramesh Mendis 17 18 0 0 94.44
Rovman Powell c & b Nuwan Pradeep 42 21 0 0 200.00
Asela Gunarathne b Nuwan Pradeep 7 13 0 0 53.85
Ishan Jayaratne c Nuwanidu Fernando b Dasun Shanaka 18 12 0 0 150.00
Sachindu Colombage not out 27 16 0 0 168.75
Lahiru Kumara not out 0 1 0 0 0.00


Extras 11 (b 4 , lb 0 , nb 0, w 7, pen 0)
Total 170/8 (20 Overs, RR: 8.5)
Bowling O M R W Econ
Chamika Karunaratne 4 0 38 0 9.50
Nuwan Pradeep 4 0 30 3 7.50
Imran Tahir 4 0 28 1 7.00
Ramesh Mendis 4 0 21 3 5.25
Dasun Shanaka 3 0 43 1 14.33
Nuwanidu Fernando 1 0 5 0 5.00



තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<