MUSCLE MAX SRI LANKA TOP 10 අවසන් මහා තරගය මැයි මස දී

MUSCLE MAX SRI LANKA TOP 10 2024

199

MUSCLE MAX SRI LANKA TOP 10 කායවර්ධන තරගාවලිය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබෙන අතර එහි අවසන් මහා තරගය මැයි මස 26 වැනි දින පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ අවසන් තරගය කැළණිය ගෝනවල Clover Banquet Hall හී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය Muscle Max Fitness Kingdom සහ Iron Arms යන කායවර්ධන මධ්‍යස්ථාන ද්විත්වය මඟින් ලබා දීම විශේෂත්වයක්.

මෙම ක්‍රීඩා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (12) Excel World හි Maco Polo ශාලාවේ දී පැවැත්වුණා.

එමෙන්ම මෙම තරගාවලිය දීප ව්‍යාප්ත විවෘත තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මූලික තරග වට කිහිපයකින් පසු අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයින් දසදෙනා MR MUSCLE MAX කුසලානය සඳහා තරග වැදීමට නියමිතයි.

මීට අමතර ‘Muscle Max – Physique’ කාණ්ඩය යටතේ තවත් ජයග්‍රාහකයෙකු තෝරා ගැනීමට නියමිත අතර MR. KELANIYA 2024 කාණ්ඩය යටතේ තවත් ජයග්‍රහකයින් කිහිපයක් තෝරා ගැනීමට නියමිත බව ද සංවිධායකයින් ප්‍රකාශ කළා.

මෙම තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් එහි ව්‍යාපෘති සභාපතිවරයා වන චානක පීටර් මහතා ප්‍රකාශ කළේ,

“නීරෝගී සහ තෘප්තිමත් ජීවන රටාවක් ප්‍රවර්ධනය කරන මෙවැනි තරගාවලියක් පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. සෞඛ්‍යයට හානිකර පුරුදු අතහැර සෞඛ්‍ය සම්පන්න පුරුදු වෙත යොමුවන සමාජයක් බිහිකිරීම අපගේ බලාපොරොත්තුවයි.

ඒ වෙනුවෙන් අප සමග එක්වන මෙන්, කායවර්ධන ක්‍රීඩාවේ නියුතු තරුණයන්ට අප ආරාධන කරනවා.

MUSCLE MAX SRI LANKA TOP 10 යනු ඔවුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවක්.  විනය සහ පෞද්ගලික විශිෂ්ටත්වය හඹා යාම ඉලක්ක කරගත් මේ සුවිශේෂී ක්‍රිඩාවේ කිරුළු පළඳින්නට රට පුරා ක්‍රීඩකයින් පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

එමෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩාවේ විනිවිදභාවය සහ සාධාරණත්වය රකිමින් පැවැත්වෙන පෙරළිකාරී තරගාවලියක් වන බවට තමත් විශ්වාස කරන බව තරගාවලි අධ්‍යක්ෂක ජොනී මහතා ප්‍රකාශ කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<