දිනුවොත් සුපිරි හතරට පැරදුනොත් ගෙදරට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

340

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක ක්‍රිකට් තරගය අද (1) ශ්‍රී ලංකාවෙන් රාත්‍රි 7.30ට ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන කණ්ඩායම් දෙකම ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වී අවසන්.

ඒ නිසාවෙන් මේ අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම අතිශය තීරණාත්මක වන්නේ මේ තරගයේ ප්‍රතිඵලය අනුව මෙවර ආසියානු කුසලානය තුල ඔවුන්ගේ ඉදිරි ගමන් මඟ තීරණය වන නිසයි.

තරගාවලිය ආරම්භ කරමින් පසුගිය 27 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය කඩුලු 8කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර  බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුලු 7කින් පරාජයට පත්වුනා.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගය සාජා ක්‍රීඩාංගණයේ දී පැවති නමුත්, මේ තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වුණු ක්‍රීඩාංගණයේ දී වන නිසාවෙන් බංග්ලාදේශයට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එහි තණතීරුව සහ එහි පින්නේ ස්වභාවය පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුමයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් ද්විත්වයම තමන් ක්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරග 5 අතරින් 4 බැගින් පරාජය වී තිබෙනවා. දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරගය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරගයක් ලෙස සාජා හිදී ක්‍රියාත්මක වුනු අතර එම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.

දෙරට අතර මේ දක්වා විස්සයි විස්ස තරග 12ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක ජය හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවටයි.  ඊට අමතරව දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරග තුනෙන් දෙකක් බංග්ලාදේශය ජයගෙන තිබෙන අතර එක් තරගයක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

කණ්ඩායම් සංයුතිය

Powerplay අවස්ථාව තුල දී පන්දු යවන්නන් කළමනාකරණය කිරීම සහ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට විශේෂ සැලැස්මක් සකස් කිරීමට සිදු වන අතර එය සිදු කරන්නේ කෙසේ ද යන්න අප සියලුම දෙනාම ඉතාමත් නොඉවසිල්ලෙන් බලා සිටින කරුණක්.

ශ්‍රී ලංකා පිතිකරුවන් දෙස බැලීමේ දී ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කළ කණ්ඩායම මේ වෙනස්කම් කිහිපයක් සිදු වීමට ඉඩ තිබෙන අතර ගුණතිලක සහ මතීෂ පතිරණ වෙනුවට ධනංජය ද සිල්වා සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කර වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ධනංජය ද සිල්වා ද එම ස්ථානය වෙනුවෙන් සටන් කරන තවත් ක්‍රීඩකයෙක් වන අතර මහීෂ් නොමැති නිසා තවත් අතිරේක දඟපන්දු යවන්නෙක්ගේ අවශ්‍යතාවය ධනංජයට සපුරාලීමට හොඳ හැකියාවක් තිබෙනවා.

බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායම සමඟ මේ තරගයට පිවිසීමට වැඩි ඉඩක් තිබෙන අතර පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූ Soumya Sarkar කණ්ඩායමට ඇතුළත් වීමට ද යම් ඉඩක් තිබෙනවා.

තීරණාත්මක ක්‍රීඩකයින්

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරණය වෙනුවෙන් චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් යන සාධකය ඉතාමත් වැදගත් සාධකයක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගන්නා මුල්පෙළ ආරම්භය තරගයේ අවසන් ප්‍රතිඵලයට විශාල අභියෝගයක් කරනු නිසැකයි.

බංග්ලාදේශය දෙසින් බැලූ විට නායක Shakib Al Hasan සහ හිටපු නායක Mahmudullah පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් ඔවුන් සතුව සිටින ප්‍රධානතම තුරුම්පුව වෙනවා. එසේම IPL තරගවල දී ද Shakib Kolkata Knight Riders නියෝජනය කරමින් ඩුබායි තණතීරුව පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙනවා.

එසේම බංග්ලාදේශ වේගපන්දු යවන්නන්ගේ අංශයෙන් Mustafizur Rahman යන සාධකය ද IPL තරගාවලියේ දී ඩුබායි තණතීරුවේ අත්දැකීම් ලබාගෙන තිබෙන අතර ඔහු සහ Taskin Ahmed බංග්ලාදේශය වෙනුවෙන් හොඳ රිද්මයක සිටින වේගපන්දු යවන්නන් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඔවුන් දෙදෙනා වෙත යම් වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වෙනවා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට අපේක්ෂිත කණ්ඩායම්

  • ශ්‍රී ලංකාව: කුසල් මෙන්ඩිස් (wk), පැතුම් නිස්සංක, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මදුශංක.
  • බංග්ලාදේශය:  Sabbir Rahman, Mosaddek Hossain, Shakib Al Hasan (C), Afif Hossain, Mushfiqur Rahim (wk), Mahmudullah, Mehidy Hasan Miraz, Mahedi Hasan, Ebadot Hossain,  Taskin Ahmed,  Mustafizur Rahman

තණතීරුව සහ එහි ස්වභාවය

මෙය රාත්‍රි කාලයේ පැවැත්වෙන තරගයක් නිසාවෙන් පින්න පතිත වීමට විශාල අවස්ථාවක් තිබෙනවා. ඒ නිසාවෙන් කාසියේ වාසියේ වැදගත්කම ද තරගයේ ප්‍රතිඵලය සඳහා විශාල බලපෑමක් වනු ඇති අතර කාසියේ වාසිය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම පළමුව පන්දු යැවීමට වැඩි ඉඩක් තිබෙනවා. ඩුබායි තණතීරුව මත ලකුණු 140-160ක ප්‍රමාණයක් හොඳ අභියෝගයක් ලබා දිය හැකි ලකුණු පුවරුවක් වෙනවා.

අද (1) රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ තොරතුරු ඇතුළු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<