අසලංකට සංගාගෙන් උපදෙසක්

1200

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල දස්කම් දැක්වීමට චරිත් අසලංක සමත් වුනා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුනා.

මෙම තරගාවලිය තුළ අසලංක දැක්වූ දක්ෂතා පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර පසුගිය දා අදහස් දක්වා සිටියා.

මේ වන විට 24 හැවිරිදි වන චරිත් අසලංක ලෝක කුසලාන තරගාවලියේ දී ඉනිම් 6ක දී ලකුණු 231 ක් ලබා ගැනීමට සමත් වූ අතර එයට අර්ධ ශතක දෙකක් ඇතුළත් වුනා.

මම හිතන්නේ චරිත් අසලංක ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගු ක්‍රිකට් දිවියක් ක්‍රීඩා කරන්න පුළුවන්, බොහෝ ලකුණු ලබා ගන්නා සහ බොහෝ තරග ජයග්‍රහණ කරන ක්‍රීඩකයෙකු ලෙස පෙනෙනවා”, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පවසා සිටියා.

චරිත් අසලංක ඔහුගේ ඉනිම් 6 තුළම විශිෂ්ට වේගයකින් සහ වගකීමකින් යුතුව පන්දුවට පහර දුන්නේ ලකුණු 147ක ප්‍රහාරක වේගයක් රඳවා ගනිමින්. ඔහු බංග්ලාදේශයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 80ක් සහ 68ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කළා.

කුමාර් සංගක්කාර විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ අංක 3 පිතිකරුවාගේ අඩුව පුරවා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබුණා. අවසානයේ අසලංක අංක 3 ක්‍රීඩකයා ලෙස ස්ථාවර වීමත් සමඟ ප්‍රශ්නය විසඳී ඇති බව පෙනෙන කරුණක්.

අසලංක වේගපන්දු යවන්නන් සහ දඟපන්දු යවන්නන් ට ඉතාමත් හොඳින් මුහුණ දෙනවා. ඒ සඳහා ඔහුට ඇති හැකියාව විශිෂ්ටයි. ඔහුට තරගයට නිර්භය ප්‍රවේශයක් ගන්න හැකියාවක් තියනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්.

පසුගිය කාලය තුල ශ්‍රී ලංකා කණ්ඩායම සංක්‍රාන්ති කාලයක හිටියේ. ඒ කාලය තුළ අපිට විවිධ දේවල් වෙනස් කරන්න අවශ්‍ය වුනා. මේ වගේ පසුබිමක් තුළ ඕනම ක්‍රීඩකයෙක්ගේ හිතට පොඩි බයක් එනවා. ඒ තමයි අසාර්ථක වෙන්න තියන බය. මොකද ඔබ අසාර්ථක වුනොත් ඔබට කණ්ඩායමේ ස්ථානය නැති වෙන්න පුළුවන්.

මේ නිසා අවදානමක් ගන්න යම් බයක් එනවා. ඒත් අභියෝගය භාර ගැනීමේ හැකියාව ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරනවා. චරිත් ඒ සියල්ල සමඟ ක්‍රීඩා කරන බව පේනවා. ඔහුට සමබරතාවයක් තියනවා. ඔහුට හොඳ හැකියාවක් තියනවා. මෙතැන් සිට ඔහුගේ මානසික තත්ත්වය ගොඩනඟන්න ඕනේ. ඔහුගේ ක්‍රීඩාව නිවැරදිව සංවිධානය කරන්න ඕනේ.

තණතීරුවෙන් තණතීරුවට, රටින් රටට, කණ්ඩායමෙන් කණ්ඩායමට ඔහුගේ ක්‍රීඩාව වෙනස් කරගන්න ඕනේ. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙකු වනු ඇති බව පවසන්න දැනටමත් විශාල දේවල් ගොඩක් ඔහු කරලා තියනවා”, සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියා.

2014 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ කුමාර් සංගක්කාර එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් දැක්වීමට සමත් වුනා. 2021 ලෝක කුසලාන තරගාවලිය තුළ අත්දැකීම් අඩු නවක ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා ධනාත්මක සහ දිරිගන්වන සුළු බව කුමාර් සංගක්කාර පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවද, සුපිරි 12 වටයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීමට සමත් වුනා. ශ්‍රී ලංකාව එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර දකුණු අප්‍රිකාව අතර තරගය අවසන් පන්දුවාරය දක්වා තල්ලු කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු වටයේ ප්‍රතිවාදීන් වන නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය පහසුවෙන් පරාජය කළා. ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කළේ තරග 8කින් තරග 5ක් ජයග්‍රහණය කරමින්.

මම හිතන්නේ සමස්තයක් වශයෙන්, මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගන්වනසුළු දක්ෂතාවයක් දක්වන්න සමත් වුනා. මේ තරගාවලිය දුෂ්කර කාර්යයක් වේවි කියලා හැමෝම දැනගෙන හිටියා. හැමෝගෙම හිතේ ප්‍රශ්න තිබුණා. මේක හරි කණ්ඩායම වේවි ද

මෙවැනි විශාල පීඩනයක් සහිත තරගාවලිවල ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීමට මෙම ක්‍රීඩකයින්ට හැකියාව තියනවා ද? කියලා හැමෝම ප්‍රශ්න කළා. ශ්‍රී ලංකාව කියන්නේ ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩාවක් සහිත කණ්ඩායමක්. ඉතිහාසය සහ සම්ප්‍රදායන් සහිත කණ්ඩායමක් විදිහට මේ කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයක දී සැබවින්ම තම හැකියාව පෙන්නුම් කළා.

මෙම කණ්ඩායම මේ විදිහට ක්‍රීඩා කරන ආකාරය දැකීම සතුටට කරුණක්. ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. ඔවුන් නිර්භීතව තරගවලට මුහුණ දුන්නා. ඔවුන් තරගයේ බොහෝ අවස්ථාවල සංවිධානාත්මකව තරගයට මුහුණ දුන්නා.”

2022 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සඳහා ස්වයංක්‍රීය සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුනා. නමුත් කඩඉම් දිනය වන 2021 නොවැම්බර් 15ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. වත්මන් කණ්ඩායම අනාගතයේ දී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑමක් කළ හැකි කණ්ඩායමක් බවට පත්වනු ඇති බව කුමාර් සංගක්කාර පවසා සිටියා.

මේ ගමන පටන් ගත්තා විතරයි. අපි චරිත් අසලංක ගැන ගොඩක් කතා කරනවා දකින්න ඇති. නමුත් අපි මුළු කණ්ඩායමම එකකට ගත්තොත්, වනිඳු හසරංග ඉතාමත් තරුණ ක්‍රීඩකයෙක් විදියට අද ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වෙලා තියනවා. අපිට පෙනෙනවා එක් පැත්තකින් ආරම්භයක් අරන් තියනවා.

මේ කණ්ඩායම අඛණ්ඩව සහ ස්ථාවරව සංවර්ධනය කළහොත් අනාගතයේ දී ලොකු බලපෑමක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ සැලකිය යුතු බලවේගයක් වේවි”, සංගක්කාර පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ මීළඟ විස්සයි විස්ස තරගාවලිය 2022 පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟින් තරග 5කින් යුත් තරගාවලියක් සඳහා සහභාගි වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<