T20 ලෝක කුසලානය අතරතුර අභිරහස් මරණයක්

414

අබුඩාබි හී Sheik Zayed ක්‍රීඩාංගණයේ තණතීරු සැකසීම භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරි Mohan Singh මහතා ඊයේ (08) දිනයේ දී හදිසියේම ජිවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙන පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ ඔහුගේ අභිරහස් මරණයට හේතුව සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භකොට ඇති බව සඳහන් කරමිනි.

ක්‍රීඩාංගණ කළමනාකාරිත්වය Mohanගේ හදිසි මරණය සම්බන්ධයෙන් පළවන පුවත නිල වශයෙන් සනාථ කොට ඇති අතර Mohanගේ සමීපතමයන් ද ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතුකොට ඇති බව වාර්තා වේ.

නවසීලන්තය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ක්‍රියාත්මක වන අතරතුර දී මෙම අවාසනාවන්ත පුවත සැලව තිබූ අතර ICC නියෝජිතයෙකු පවසා සිටියේ මෙම කණගාටුදායක පුවත අසන්නට ලැබුණු මොහොතේ දී ඔවුන් සියල්ලටම අදහගත නොහැකි වූ බවත්, ඔහුගේ පවුලේ උදවිය සහ සියලුම සමීපතමයන් හට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින බවයි.

මීට අමතරව අබුඩාබි ක්‍රිකට් සම්මේලනය ද නිල ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පුරා වසර 15ක් අබුඩාබී ක්‍රිකට් නඟා සිටුවීම වෙනුවෙන් Mohan සිදු කළ සේවය අමතක කළ නොහැකි බවත්, මේ අපහසු කාලසීමාවේ දී ඔහුගේ පවුලේ උදවිය සමඟ ශෝකය බෙදාගන්නා බවයි.

BCCI හිටපු තණතිරූ සැකසීමේ ප්‍රධාන නිලධාරි Daljit Singh මහතා ද සඳහන් කර සිටියේ Mohan යනු තමන් සමඟ ඉතාම කුළුපඟව කටයුතු කර ඉතාමත් නිහතමානී පුද්ගලයෙකු බවයි.

මට නම් මේ පුවත අදහගන්න අමාරුයි. අවුරුදු 10කට ආසන්න කාලයක් Mohan මාත් එක්ක ළඟින් වැඩ කළා. ඔහුව අබුඩාබි වලට ගියාට පස්සේ වුනත් අපි නිතරම කථාබහ කළා. ඔහුගේ පවුලේ අයට මේක දරාගන්න අපහසු වේවි. මම අනිවාර්‍යෙන්ම ඔවුන් ගැන සොයා බලනවා”, යනුවෙන් Daljith මහතා පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<