ශ්‍රී ලංකාව එළඹෙන T20 ලෝක කුසලානයේ මූලික වටයට

1445
2022 T20 World Cup

2022 වසරේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් ඊයේ (07) නම් කෙරුණා. ඒ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරගය නිමා වීමෙන් අනතුරුවයි.

මෙම වසරේ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සහභාගි වූ කණ්ඩායම් 12 අතරින් කණ්ඩායම් 8ක් 2022 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සෘජුව සුදුසුකම් ලබාගෙන තිබෙනවා. එම කණ්ඩායම් 8 අතරට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා නැහැ.

ඒ අනුව සෘජු සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 මෙසේයි.

සත්කාරක ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය

2022 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජු සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් වීමට නියමිත වූයේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම් දෙක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම් අනුව මුල් ස්ථාන 6 දිනා ගන්නා සෙසු කණ්ඩායම් ය.

පසුගිය දා පැවති ඕස්ට්‍රේලියා බටහිර ඉන්දීය කොදෙව් තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කොදෙව් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයට පත්ව තිබූ අතර බංග්ලාදේශය 8 වැනි ස්ථානයට පත්වෙමින් සෘජුව සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා පාදක කර ගත් අවසන් දිනය වූයේ නොවැම්බර් 15 වැනිදායි.

අද (07) පැවැත්වෙන තරගවල ප්‍රතිඵලය අනුව මෙම ශ්‍රේණිගත කිරීම්හි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. ඒ අනුව එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව මුල් ස්ථාන 6 හි රැඳී සිටිනවා. අංක 7 කණ්ඩායම බවට පත්ව සිටින ඇෆ්ගනිස්තානය අද තරගය පරාජය වුවත් ශ්‍රේණිගත කිරීම් හි 8 වැනි ස්ථානයට වඩා පහඝට පැමිණෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය සඳහා සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය සහ නැමීබියාව ද මෙම මූලික වටය සඳහා සහභාගි වනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<