පාකිස්තානය අපරාජිතවම අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

187

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර පැවති දෙවන කාණ්ඩයේ තවත් තරගයකින් ලකුණු 72ක සුපිරි ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා. ඒ අනුව පාකිස්තානය සුපිරි 12 වටය අපරාජිතව නිමා කරමින් අවසන් පූර්ව වටය සඳහා අවතීර්ණ වෙනවා.

මේ තරගයට පෙරම පාකිස්තානය මේ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණු අතර ඒ නිසාවෙන් මෙය ඔවුන්ට පුහුණු තරගයක් බඳු වුනා. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දුවට පහරදීම සඳහා තීරණය කළා. ඔවුන් දෙවනුව පන්දුවට පහර නොදී පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ අවසන් පූර්ව වටය සඳහා පෙර සූදානම් වීමක් ලෙසයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

පාකිස්තානය – Babar Azam (capt), Mohammad Rizwan (wk), Fakhar Zaman, Mohammad Hafeez, Shoaib Malik, Asif Ali, Shadab Khan, Imad Wasim, Hasan Ali, Haris Rauf, Shaheen Shah Afridi

ස්කොට්ලන්තය – George Munsey, Kyle Coetzer (capt), Dylan Budge, Richie Berrington, Michael Leask, Matthew Cross (wk), Chris Greaves, Mark Watt, Safyaan Sharif, Hamza Tahir, Brad Wheal

පාකිස්තානු ඉනිම ආරම්හ කරමින් කඩුලු රකින පිතිකරු Rizwan සහ නායක Azam ඉනිම ආරම්භ කළා. පළමු පන්දුවාර 6 සඳහා නියමිතව තිබෙන powerplay අවස්ථාව අවසානය දක්වා ඔවුන්ගේ සබඳතාවය ආරක්ෂා වී තිබූ නමුත්, ලකුණු 15ක් ලබාගෙන සිටි Rizwanගේ ඉනිම අවසන් වීමත් සමඟම එය බිඳ වැටුනා. ඒ වන විට පාකිස්තානය ලකුණු 35ක් ලබාගෙන තිබුනා. මේ තරගාවලිය පුරාවට සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු Zaman මේ තරගයේ දීද ලකුණු 8කට දැවී ගියේ, Greavesගේ පන්දුවක් හමුවේයි.

59/2ක් ලෙස පාකිස්තානු ලකුණු සටහන දැක්වෙද්දී Azam සමඟ තෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වුණු Hafeez පන්දු 32කදී වේගවත් ලකුණු 53ක සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ වැඩි පාලනය ඔවුන්ගේ දෙසට හරවා ගත්තා. 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 19කදී ලකුණු 31ක් ලබාගෙන සිටි 41ක් හැවරිදි Hafeezගේ ඉනිම නිමා කරන්නට Sharif සමත් වුනේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරමිනි.

සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුලදීම නායකත්වය දරමින් ක්‍රීඩා කරනු ලබන Azam මෙවර තරගාවලිය තුල ලබාගත් සිව්වන අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47කදී ලකුණු 66ක් ලබාගත්තා. ඔහුගේ එම නායකත්වයේ සුපිරි ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇතුලත් වුනු අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබාගත් 24 අර්ධ ශතකය වුනා.

වයස යනු හුදෙක් ඉලක්කම් කිහිපයක් පමණක් බව නැවත වතාවක් පසක් කර දුන් 39 හැවරිදි Malik පන්දු 18ක් තුල 4 පහරක් සහ 6 පහර 6ක් එල්ල කරමින් නොදැවී ලකුණු 54*ක් ලබාගැනීමට සමත් වුනේ 300.00ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙනයි. එම ඉනිම නිසාවෙන් පාකිස්තානයට සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 189ක් ලබාගැනීමට හැකියාව ලැබුනේ සාර්ථක ඉනිම අවසානකයක් සටහන් කරගෙනයි. Malikගේ මූලිකත්වයෙන් ගොඩනැංවුණු 5 වන කඩුල්ලේ සබඳතාවය වෙනුවෙන් පන්දු 15කදී නොදැවුණු ලකුණු 47*ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවුනා.

පන්දු යැවීමේ දී Chris Greaves ලකුණු 43කට කඩුලු 2ක් දවාගන්නා විට, Hamza Tahir සහ Safyaan Sharif අතරේ කඩුල්ල බැඟින් බෙදී ගියා.

ලකුණු 190ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ස්කොට්ලන්තයට සිය ඉනිම අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 117ක් පමණයි. දකුණතින් පිතිකරණයේ නිරත වන Berrington ලබාගත් ලකුණු 54* හැරෙන්නට වෙනත් එකඳු ස්කොට්ලන්ත පිතිකරුවෙක් හට ලකුණු 17 සීමාව අභිබවා යාමට පාකිස්තානු පන්දු යවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

Berrington හුදකලාව දියත් කළ සටන්කාමී ඉනිම සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 7වන අර්ධ ශතකය වුනා. එම ඉනිම 4 පහර 4කින් සහ 6 පහරකින් අලංකාරවත් වුනා. පන්දු යැවීමේ දී Shadab ලකුණු 14කට කඩුලු 2ක් දවාගනිමින් ඉතාමත් සාර්ථක පන්දුවාර 4ක් අවසන් කරන විට, Hasan, Shaheen Shah සහ Rauf එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

ලකුණු සාරාංශය,

පාකිස්තානය – 189/4 (20): Babar Azam 66, Shoaib Malik 54*, Mohammad Hafeez 31, Chris Greaves 2/43.

ස්කොට්ලන්තය – 117/6 (20): Richie Berrington 54*, George Munsey 17, Shadab Khan 2/14.

තරගයේ වීරයා – Shoaib Malik

2021 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව තරග දෙක තහවුරු වී තිබෙනවා. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය සහ නවසීලන්තය තරග වදිනු ඇති අතර දෙවන අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය එකිනකා මුණගැසෙනු ඇත. එම තරග දෙක පිළිවෙළින් නොවැම්බර් 10 සහ 11 අබුඩාබි හිදී සහ ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<