විරාත් කෝලි වසර 8ක RCB නායකත්වයට සමුදෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

1318

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ඉන්දීය විස්සයි විස්ස නායකත්වයට සමුදීමට සූදානමින් සිටින විරාත් කෝලි 2021 IPL තරගාවලියට පසුව Royal Challengers Bangalore (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වීමට ඊයේ (19) තීරණය කර තිබෙනවා.

Daniel Vettoriගේ නායකත්වය නිමා වීමෙන් පසුව 2013 වසරේ සිට Royal Challengers Bangalore කණ්ඩායමේ නායකත්වය ලබා ගත් විරාත් කෝලිගේ නායකත්වය යටතේ RCB මේ දක්වා තරග 132කට ක්‍රීඩා කර ඉන් තරග 62ක් ජයග්‍රහණය කර තිබෙනවා. එසේම තරග 66ක් පරාජයට පත්වන විට තවත් තරග 4ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

ඔහුගේ නායකත්වය යටතේ RCB දැනට දක්වා තිබෙන හොඳම දස්කම වන්නේ 2016 වසරේ IPL අනුශූරතාවය දිනා ගැනීමයි. එම අවසන් මහා තරගයේ දී RCB කණ්ඩායම SunRisers Hyderabad හමුවේ ලකුණු 8කින් පරාජයට පත් වුනා. ඊට අමතරව 2015 සහ 2020 යන වසරවල පැවති IPL තරග අදියරවල දී RCB කණ්ඩායම playoffs වට දක්වා පැමිණියා.

“RCB කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් පිරිසකට නායකත්වය ලබා දෙමින් මෙතෙක් කාලයක් තිස්සේ මම කණ්ඩායම එක්ක ලොකු ගමනක් පැමිණියා. එම ගමන් මඟ ඉතාමත් විශිෂ්ටයි. RCB කළමනාකාරීත්වය, පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය, ක්‍රීඩකයින් සහ සමස්ත RCB කණ්ඩායමේ සියලුම දෙනා වෙත ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

2013 වසරේ ඉඳන් 2021 වෙනකන් වසර 8ක පමණ කාලයක් තිස්සේ මම RCB කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරන්න මගේ හිතට ටිකක් අමාරු වුනා. නමුත් RCB පවුල සහ ප්‍රේක්ෂකයින් මගේ හිතේ හැමදාමත් ඉන්නවා. මං ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යනතුරු IPL තරගවල දී ක්‍රීඩා කරන්නේ RCB වෙනුවෙන් පමණයි.” යැයි 32 හැවිරිදි කෝලි සිය නායකත්වයේ තීරණය ලබා දෙමින් පැවසුවා.

මෙවර IPL තරගාවලියේ දෙවැනි අදියර ඊයේ (19) නැවත වතාවක් ආරම්භ වුනු අතර RCB මුහුණ දෙන පළමු තරගය අද (20) Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව Abu Dhabi හිදී පැවැත්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<