“වනිඳු සහ චමීර කණ්ඩායමට නව මානයක් එක් කරනවා” – Virat Kohli

ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය 2021

7575

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර පසුගිය දා Royal Challengers Bangalore කඳවුර සම​ඟ එක්වුනා. ඔවුන්ගේ එක්වීම සහ කණ්ඩායමේ සංයුතිය පිළිබඳව කණ්ඩායමේ නායක Virat Kohli අදහස් දක්වා සිටියා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පැවති IPL තරගාවලියේ පළමු අදියරේ දී Royal Challengers Bangalore කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඔවුන් සහභාගී වූ තරග 7න් 5ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුනේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දිනා ගනිමින්.

කෙසේ වෙතත් තම කණ්ඩායම පළමු අදියරේ දී දක්ෂතා දැක්වීම නිසා එළඹෙන තරග සුළුකොට තැකීමට තමන් සූදානම් නොමැති බව Virat Kohli පවසා සිටියා. එමෙන්ම කණ්ඩායම හා එක්වූ නව ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර කණ්ඩායමට නව මානයක් එක් කරන බව ද ඔහු පවසා සිටියා.

පළමු අදියරේ දී Royal Challengers Bangalore නියෝජනය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන Adam Zampa සහ Kane Richardson මෙම අදියර සඳහා සහභාගී වන්නේ නැහැ. ඔවුන්ගෙන් හිස්වන ස්ථානය වනිඳු හසරංගට සහ දුශ්මන්ත චමීරට හිමි වුනා.

“අපි කණ්ඩායමට වෙනස්කම් කළා. ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම මෙවර තරගවලට එක්වෙන්නේ නැහැ. Kane Richardson සහ Adam Zampa මේ අදියර සඳහා සහභාගී වෙන්නේ නැහැ. ඔවුන් තරගාවලියෙන් ඉවත්වුනේ පෞද්ගලික හේතූන් මත. අපි ඒ ගැන සම්පූර්ණයෙන්ම තේරුම් අරන් ඉන්නේ”, Virat Kohli පවසා තිබුනා.

“Zampa සහ Kane වෙනුවට අපි ගත්ත ක්‍රීඩකයන් දෙදෙනා මේ තණතීරු ගැන යම් අවබෝධයක් තියෙන ක්‍රීඩකයන් දෙන්නෙක්. ඔවුන් දෙදෙනා ආසියානු තණතීරුවල ක්‍රීඩා කරන දෙන්නෙක්. වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග රැසක් ක්‍රීඩා කරපු දෙන්නෙක්. ඔවුන් මේ තණතීරුවල ක්‍රීඩා කරන්න ඕනේ කොහොමද කියලා හොඳට දන්නවා. ඔවුන්ගේ අත්දැකීම් සහ දක්ෂතා අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.”

“පසුගිය අදියරේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ තරග සඳහා සහභාගී නොවන නිසා කණ්ඩායමට වෙන බලපෑම ගැන අපි අවධානය යොමු කළේ නැහැ. මම හිතනවා මේ අලුත් ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට නව මානයක් එක් කරනවා කියලා.” 

තම කණ්ඩායම ක්‍රීඩා කළ තරග 5ක් ජයග්‍රහණය කරමින් තුන්වැනි ස්ථානයේ සිටිය ද, එළඹෙන තරග සියල්ල සඳහා ද සිය උපරිමයෙන් ක්‍රීඩා කරන බව Virat Kohli පවසා සිටියා.

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීර්ඝ කාලයක් ක්‍රීඩා කරපු කෙනෙක් හැටියට මට යම් අවබෝධයක් තියෙනවා කණ්ඩායමක් පළමු තරග 7 පිට පිට ජයග්‍රහණය කළත්, අටවැනි තරගයේ ඉඳන් ආයෙත් ඒ අධිෂ්ඨාන​ය, ඒ කැපවීම එක්ක ක්‍රීඩා කරන්න ඕනේ කියලා. අපි මුල් තරග 5ම පරාජය වෙලා හිටියත් අපි ජයග්‍රහණයේ මාවත හොයාගන්න ඕනේ. අපි ධෛර්යය අරන් ප්‍රතිඵලය වෙනස් කරන්න ඕනේ. කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ.”

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

“තරගයෙන් එළියේ යම් යම් දත්ත එක්ක පුරෝකථන තියෙන්න පුළුවන්. ඒත් තරගය ක්‍රීඩා කරන්නේ ඒවා අනුව නෙමෙයි. කිසිම තරගයක් එළියේ දත්ත මත පදනම් වෙන්නේ නැහැ. තරගය රඳා පවතින්නේ අපි තරගයේ දී දක්වන ප්‍රතිචාරය, ක්ෂණික තීරණ සහ තරග සැලසුම් වගේ දේවල් සහ අපි ඒ සැලසුම් කොපමණ දුරට කරනවා ද කියන එක සමඟ.”

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කාර්‍යබහුල කාලයක් වන මෙම කාලය තුළ ක්‍රීඩකයන්ට කණ්ඩායම් වටපිටාව තුළ දීර්ඝ කාලයක් පුහුණුවීමට අවස්ථාවක් නොලැබීම කණ්ඩායම්වලට යම් බලපෑමක් එල්ල කරන බව බොහෝ දෙනාගේ මතය වී තිබුණා.

“ක්‍රීඩකයන් කණ්ඩායම එක්ක එක්වුනේ වෙනස් දවස්වල දී. ඒක යම් ප්‍රබල සාධකයක්. ඒත් කණ්ඩායමක් විදිහට අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක ඒක එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. අපි 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඒක තමයි අපි ඉස්සරහට යද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ. අපිට පළමු අදියරේ වගේම හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර හෙට (19) ආරම්භ වීමට නියමිත අතර Virat Kohliගේ නායකත්වයෙන් යුත් Royal Challengers Bangalore එළඹෙන සඳුදා (20) කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ තරග වැදීමට නියමිතයි.

සඳුදා තරගය සඳහා Royal Challengers Bangalore නිල් පැහැති ජර්සියකින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ කොරෝනා වයිරසය සමඟින් සටන් කරන මුල්පෙළ වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ නිල් පැහැති ආරක්ෂක ඇඳුම් අනුගමනය කරමින්.

කණ්ඩායම ක්‍රීඩා කරන මෙම ඇඳුම් අත්සන් සහිතව වෙන්දේසි කිරීමට නියමිත අතර ඉන් ලැබෙන ආදායම ඉන්දියාව තුළ සිටින අඩු ආදායම්ලාභීන්ගේ එන්නත්කරණය සඳහා යොදාගැනීමට නියමිතයි.

Times of India පුවත්පත ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<