ඕමානයට සහ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයින් 4ක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2021

2998

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී එක්වීමට නියමිත ඕමාන සංචාරය සහ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා තවත් ක්‍රීඩකයන් සිව්දෙනෙකු එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17) අවසර ලබා දුන්නා. ඒ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මීට පෙර නම් කළ සංචිතය සඳහා ඇතුළත්ව සිටි වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක ආබාධයකට ලක්වීම නිසා ඔහුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වන අතර ඔහුගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක නම් කර තිබෙනවා.

ඔහුට අමතරව සංචිතය සඳහා නම් කළ සෙසු ක්‍රීඩකයන් සිව්දෙනා වන රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර සහ ලක්ශාන් සඳකැන් එළඹෙන ඔක්තෝබර් මස 03 වැනිදා ඕමානය බලා පිටත් වීමට නියමිත බව ThePapare.com වෙත වාර්තා වුනා.

කෙසේ වෙතත් කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ක්‍රීඩකයන් 15 දෙනාගේ අවසන් සංචිතය සඳහා එක්කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත්ව සිටින කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා මේ වන විට ආබාධයකට ලක්ව සිටින අතර ඔහුගේ යෝග්‍යතාව පිළිබඳව සිදු කිරීමට නියමිත අවසන් පරීක්ෂණයෙන් අනතුරුව මිනෝද් භානුක පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි.

කුසල් පෙරේරා ලෝක කුසලාන තරගාවලියට පෙර පූර්ණ සුවය ලබනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය විශ්වාසය පළකරනවා. ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතය සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අවසර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සුවිශේෂී ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුල පුහුණුවීම් සහ සෙසු ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එක් එක් කණ්ඩායම් සඳහා තරග දිනවල දී ක්‍රීඩක විවේකාගාරය (Dressing Room) තුළ රැඳී සිටිය හැක්කේ පුද්ගලයින් 30 දෙනෙකුට පමණි.

එයට ක්‍රීඩකයින් සහ පුහුණු නිලධාරීන් ද ඇතුළත් වනවා. මීට පෙර මෙම සංඛ්‍යාව 23කට සීමා වූ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම සංඛ්‍යාව 30 දක්වා ඉහළ දමා තිබෙනවා.

 කෙසේ වෙතත් යම් කණ්ඩායමක් සඳහා 30ට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් රඳවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර හිමිවන අතර එහි දී වැය වන අමතර පිරිවැය අදාළ ක්‍රිකට් ආයතනය විසින් ගෙවිය යුතුවනවා.

ඕමාන සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත් වීමට සතියකට පෙර එනම්, සැප්තැම්බර් මස 27 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර විස්සයි විස්ස තරග දෙකක් ඔක්තෝබර් මස 7 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නිල පුහුණු තරග දෙකකට සහභාගී වනවා. ඒ ඔක්තෝබර් 12 සහ ඔක්තෝබර් 14 වැනිදායි. එම එක් පුහුණු තරගයක් බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිත අතර සෙසු තරගය ස්කොට්ලන්තය හෝ පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයේ තරග ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. ඒ නැම්බියාව සමඟින්. ඉන් අනතුරුව අයර්ලන්තය සමඟින් 20 වැනිදාත්, නෙදර්ලන්තය සමඟින් 22 වැනිදාත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත්වුවහොත් ඔවුන් සුපිරි 12 වටයට පිවිසෙන අතර එහි දී A කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් ප්‍රදීප්

අතිරේක ක්‍රීඩකයින්: ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, පුලින තරංග, අකිල දනංජය, රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක*, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, ලක්ශාන් සඳකැන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<