“මම හිතුවේ මේක මම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය කියලා” – Matthew Wade

660

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය ඊයේ (11) නිමා වුනේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු පහක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ Matthew Wade 19 වැනි පන්දුවාරයේ දී පිට පිටම හයේ පහර තුනක් එල්ල කරමින් තරගය පාකිස්තානයෙන් උදුරා ගැනීමට සමත් වුනා.

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් Matthew Wade පවසා සිටියේ තමන් මෙම අවසන් පූර්ව තරගයට පිවිසියේ තරමක පීඩනයකින් බවයි. මෙම තරගය තමන් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇතැයි තමා විශ්වාස කළ බව ඔහු පවසා සිටියා.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා වන Matthew Wade ඊයේ තරගයේ දී කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු 17ක් වැය කරමින් ඔහු වාර්තා කළ ලකුණු 41 ඕස්ට්‍රේලියා කණ්ඩායම ඔවුන්ගේ දෙවැනි විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයට කැඳවාගෙන යාමට සමත් වුනා.

ඊයේ තරගයේ අවසන් පන්දුවාර දෙක තුළ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 22ක් අවශ්‍ය ව තිබුණා. එහි දී 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Shaheen Shah Afridiගේ අවසන් පන්දු තුනටම හයේ පහර 3ක් එල්ල කිරීමට Wade සමත් වුනා.

“මම ඊයේ තරගයට එද්දී බය වෙලා හිටියේ. මම හිතුවේ මේක ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන්න මට තියන අවසන් අවස්ථාව කියලා”, Wade පවසා සිටියා.

“මට ඕනේ වුනේ තරගය හොඳින් ක්‍රීඩා කරන්න. ඒ වගේම අපිට තරගාවලිය ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලබාදෙන්න. අපේ කණ්ඩායමේ විශිෂ්ඨ ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. මේ ක්‍රීඩකයන් එක්ක මම ගොඩක් කල් ක්‍රීඩා කරලා තියනවා.”

ඕස්ට්‍රේලියා ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී Matthew Wade ලබා දුන් උඩපන්දුව deep mid-wicket හි පන්දු රකිමින් සිටි Hasan Aliගෙන් ගිලිහී යාම තරගයේ හැරවුම් ලක්ෂයක් වුනා.

එම අවස්ථාවෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා පන්දු 9ක් තුළ ලකුණු 18ක් අවශ්‍ය වුනා. මීළඟ පන්දුවේ දී fine leg කළාපයෙන් හයේ පහරක් එල්ල කිරීමට Wade සමත් වුනා. ඉන් අනතුරුව deep square leg කළාපයෙන් හයේ පහරක්

වාර්තා කළ ඔහු පන්දුවාරයේ අවසන් පන්දුවේ දී තවත් හයේ පහරක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

“මම ගොඩක් සතුටු වෙනවා මට නැවතත් හොඳින් පන්දුවට පහර දෙන්න පුළුවන් වුන එක ගැන. දැන් තමයි මට හිතෙන්නේ මම ජාත්‍යන්තර ක්‍රිකට්වලට සුදුසුයි කියලා. මම මගේ රිද්මය නැවත ලබා ගන්න සමත් වුනා. මට එළියට ගිහින් වැඩි ධෛර්යයක් එක්ක නැවත කණ්ඩායමට එන්න පුළුවන් වුනා. මම දැන් ආයෙත් කඩුලු රකින්නා විදියට අංක 7 ස්ථානයේ ක්‍රීඩා කරනවා. මම වයසට යන්න යන්න මට පුළුවන් වුනා අත්දැකීම් ගොඩක් එකතු කරගන්න. මම දැන් අවධානයෙන් ඉන්නේ මට ලැබෙන අවස්ථාවන් ලබා ගන්න. පිතිකරණ ලැයිස්තුවේ පහළට එන එක මට එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. මම නායකයාද නැද්ද කියන එකත් මට ප්‍රශ්නයක් නෙමෙයි”, Wade පවසා සිටියා.

ලකුණු 177 ක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 12ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ එක්වූ Marcus Stoinis සහ Matthew Wade පන්දු 40කින් නොබිඳුනු ලකුණු 81ක සම්බන්ධතාවක් ගොඩනැඟීමට සමත් වුනා.

පසුගිය වසර කීපය තුළ කීපවරක්ම කණ්ඩායමෙන් ඉවත් වූ Matthew Wade නැවතත් කණ්ඩායමට එක්වීමට සමත් වුනා. එලෙස කණ්ඩායමට එක්වූ සෑම අවස්ථාවක දී ම එය තමන්ට ලැබුණු අවසන් අවස්ථාව ලෙස සැලකූ බවත් Wade පවසා සිටියා.

“මම දන්නේ නැහැ මගේ අවසන් තරගය මොකක්ද කියලා. ඒ නිසා මම හැම තරගයක්ම අවසන් තරගය විදියට ක්‍රීඩා කරනවා. මට විශ්වාසයි මගේ ක්‍රීඩා ජීවිතය ඉවර වුනාම මට පුළුවන් පිටට තට්ටුවක් දාලා පසුගිය අවුරුදු 3ක 4ක කාලය තුළ මම ක්‍රීඩා කරපු දිහා බලලා සතුටු වෙන්න.

කණ්ඩායමෙන් ඉවත් වුන හැම වෙලාවකම මම නැවත කණ්ඩායමට එන්න සමත් වුනා. එක පාරක් නෙවෙයි මම තුන් හතර පාරක්ම කණ්ඩායමෙන් ඉවත් වෙලා තියෙනවා. සමහරවිට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වැඩිම වෙලාවක් කණ්ඩායමෙන් එලියට ගිය ක්‍රීඩකයා මම වෙන්න ඇති”, Wade තව දුරටත් පවසා සිටියා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර එළඹෙන 14 වැනි ඉරිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මීට පෙර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කර නොමැති වීම විශේෂත්වයක්.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<