ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් අතරට අලුත් නම් කිහිපයක්

2279

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පුහුණු කටයුතුවල මෙහෙයුම් සිදු වන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ කැපී පෙනෙන පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේම සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එසේ නව පත්වීම් ලබා දෙන ලද පුහුණුකරුවන් අතර දේශීය වශයෙන් වැඩිම අවධානයක් දිනාගෙන සිටින තිළිණ කණ්ඩම්බි ද ඇතුලත්ව තිබෙනවා. අවිශ්ක ගුණවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කණ්ඩම්බි වෙත පත්වීම් ලැබී තිබෙනවා.

මෙතෙක් පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ශූරතා දෙකම දිනා ගැනීමට කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් සමත් වුනා. ඊට අමතරව ඉකුත් දා පල්ලෙකැලේ දී අවසන් වුනු නැෂනල් සුපර් ලීග් (NSL) සීමිත පන්දුවාර තරගාවලියේ ද ශූරතාව දිනා ගැනීමට කණ්ඩම්බි පුහුණුකාරීත්වය දැරූ ජැෆ්නා සමත් වෙද්දී, එම සිව්දින තරගාවලියේ ද අනුශූරතාව දක්වා ජැෆ්නා කණ්ඩායම මෙහෙය වීමට ඔහුට හැකියාව ලැබුණා.

ඔහුට අමතරව හිටපු ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවකු වූ රුවන් කල්පගේ නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරද්දී, වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කර තිබෙනවා.

මේ අතර දේශීය ක්‍රිකට් තරගාවලි රැසක ශූරතා දිනා දීමට සමත් පුහුණුකරුවකු ලෙසින් සැලකෙන හිටපු ටෙස්ට් ක්‍රීඩක ගයාන් විජේකෝන් 19න් පහළ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ඔහු ගෙවී ගිය නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩම්බිගේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කළා.

මේ අතර වයස 19න් පහළ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන සම්පත් පෙරේරා එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් ද කටයුතු කරනු ඇත. මේ පත් කිරීම් සියල්ල මැයි 1 වැනිදා සිට බලපැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම

අවිශ්ක ගුණවර්ධන – ප්‍රධාන පුහුණුකරු

තිළිණ කණ්ඩම්බි – සහාය පුහුණුකරු

මලින්ද වර්ණපුර – පිතිකරණ පුහුණුකරු

සජීව වීරකෝන් – පන්දු යැවීමේ පුහුණුකරු

උපුල් චන්දන – පන්දු රැකීමේ පුහුණුකරු

ශ්‍රී ලංකා නැගී  එන කණ්ඩායම

රුවන් කල්පගේ – ප්‍රධාන පුහුණුකරු

රුවින් පීරිස් – සහාය පුහුණුකරු

දර්ශන ගමගේ – පන්දු යැවීමේ පුහුණුකරු

ධම්මික සුදර්ශන – පිතිකරණ පුහුණුකරු

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම

ජෙහාන් මුබාරක් – ප්‍රධාන පුහුණුකරු

සම්පත් පෙරේරා – සහාය පුහුණුකරු / පිතිකරණ පුහුණුකරු

චමිල ගමගේ – පන්දු යැවීමේ පුහුණුකරු

ගයාන් විජේකෝන් පන්දු රැකීමේ පුහුණුකරු

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් නෙදර්ලන්ත කණඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු Anton Roux පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. මාර්තු 07 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි Roux ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කොට ඇති 40 හැවිරිදි Roux ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ධූරයට අමතරව සෙසු සියලුම ජාතික කණ්ඩායම්වල මෙන්ම ඉහල කාර්ය සාධන මධ්‍යස්ථානයේ පන්දු රැකීම භාරව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධවීමට පෙර Roux එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායමේ සහාය පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<