කඩුලු පැනීමේ ශූරයා දිගුකාලීන වාර්තාවක් බිද හෙලයි

247
Karsten Warholm

මීටර් 400 කඩුලු පැනීමේ ලෝක ශූර Karsten Warholm ජර්මනියේ පැවති ISTAF තරගාවලිය සඳහා එක්වෙමින්, එම තරගාවලියේ මීටර් 400 කඩුලු ඉසව්ව සඳහා පිහිටුවා තිබූ වසර 40ක් පැරණි වාර්තාවක් බිද හෙළීමට සමත් විය.

ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව තත්පර 47.08ක කාලයකින් අවසන් කරමින් Edwin Moses විසින් වසර 40කට පෙර පිහිටුවා තිබූ ISTAF තරගාවලි වාර්තාව බිඳ හෙළීමට ඔහු සමත් වූ අතර එම කාලය මෙම ඉසව්ව සඳහා වාර්තා වූ 9 වැනි හොඳම කාලය ලෙස ද සටහන්ව තිබුණි.

එම ජයග්‍රහණයෙන් පසුව එය පිළිබඳව අදහස් දැක්වූ Karsten Warholm ප්‍රකාශ කර සිටියේ එය ඉතාම හොඳ තරගයක් බවත්, එය තමාගේ තෙවැනි හොඳම කාලය බවට පත් කරගැනීමට හැකි වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත්ය.

“එය ඉතාමත් හොඳ තරගයක්, එය මගේ තෙවැනි හොඳම කාලයයි. එම නිසා මම බොහෝ සතුටට පත්වනවා, අවසාන කඩුලු ද්විත්වයේ දී මම මදක් වෙහෙසට පත්වයි සිටියේ. නමුත් මම දැන් තත්පර 47ට ඉතා ආසන්න මට්ටමට පැමිණ තිබෙනවා, මේ රිද්මය දිගින් දිගටම පවත්වා ගැනීමට හැකි වූවොත් වාර්තා තැබීම ඉතා පහසු දෙයක් වෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

කොරෝනා වසංගතය නිසාවෙන් නවතා දැමූ මලල ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසුව ඉතා සුපිරි දස්කම් දැක්වීමට Warholm සමත් විය. පසුගිය ජුනි මාසයේ පැවති Impossible Games තරගාවලියේ, මීටර් 300 කඩුලු පැනීම ඉසව්වේ ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ ඔහු, පසුගිය දා Stockholm ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමට ද සමත් විය.

නෝර්වේ නියෝජනය කරමින් මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ දස්කම් දැක්වීමට සමත් වූ 24 හැවිරිදි Warholm, 2017 සහ 2019 වසරවල පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු පැනීම ඉසව් ජය ගනිමින් එම ඉසව්වේ ලෝක ශූරයා බවට පත්වීමට ද සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<