යොවුන් CR ක්‍රීඩකයින් හමුවේ මහනුවර ගෞරවය නූලෙන් බේරේ

1185

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ තවත් ඉතා වැදගත් තරගයක් අද (9) පැවැත්වුණේ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය හා CR&FC කණ්ඩායම අතරයි. ජනිඳු දිල්ශාන්, ගැමුණු චේතිය හා හරිත් බණ්ඩාර වැනි ප්‍රබල යොවුන් ක්‍රීඩකයින්ගේ උත්සාහය වතුරේ යවමින් මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 31-26ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය.

මහනුවර අභිමානය නැවතත් බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින්..

පසුගිය සති අන්තයේ දී වසර 19කට පසු පළමු වතාවට CH&FC කණ්ඩායම හමුවේ පරාජය වීමට මහනුවර ක්‍රීඩා සමාජයට සිදු විය. මේ තරගයේ දී ආබාධයකට ලක්ව සිටි CR නායක කවිඳු පෙරේරා නැවත කණ්ඩායමට එක්ව සිටි අතර තරගය විනිශ්චය කිරීමට නවසීලන්ත ජාතික විනිසුරුවරයෙකු කැඳවා තිබීම විශේෂත්වයකි.  

පළමු මිනිත්තු කිහිපයේ දී මහනුවර ක්‍රීඩා සමාජය CR ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් දරුණු ප්‍රහාරයක් දියත් කළ නමුත් කෙමෙන් කෙමෙන් CR ක්‍රීඩකයින් තරගයට පිවිසුණේ තරගය දෙපසටම විවර කරමිනි.

නයිජල් රත්වත්තගේ පා පහරින් ආරම්භ වූ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ අනුරුද්ධ විල්වර. එම උත්සාහක දිනුම තරගයේ දෙවන මිනිත්තුවේ දී වාර්තා වීම විශේෂත්වයකි. රොෂාන් වීරරත්නගේ හා නයිජල් රත්වත්තගේ දක්ෂ පන්දු යොමු කිරීම් කිහිපයකට පසු විල්වර ලකුණු රැස් කළ අතර තිළිණ විජේසිංහ පහසුවෙන් අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (මහනුවර 07-00 CR)

මහනුවර ක්‍රීඩා සමාජය දිගින් දිගටම සිය පසුපෙළ යොදා ගනිමින් ආක්‍රමණයේ යෙදුණු නමුත් 5 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රියාත්මක වූයේ Line out අවස්ථාවක් සාර්ථක කර ගනිමිනි. උචිත ජයසූරිය ධවල රේඛාව ඉක්මවා යද්දී තිළිණ විජේසිංහ අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (මහනුවර 14-00 CR)

CR කණ්ඩායම පළමු වරට ලකුණු රැස් කර ගැනීමට සමත් වූයේ 10 වන මිනිත්තුවේ දීයි. ස්ටීවන් සිවරාජ් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ මහනුවර අර්ධයට පැමිණි පළමු වතාවේ දී ම ලකුණු රැස් කරමිනි.

මහනුවර ක්‍රීඩා සමාජය දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේ සිය ග්‍රහණය අත්නොහරිමිනි. රොෂාන් වීරරත්න අශාන් ඩාර්ලින්ග්ගේ දක්ෂ ධාවනයක් බිඳ වැටීමෙන් අනතුරුව ක්ෂණිකව පන්දුව ලබාගෙන ලකුණු රැස් කළ අතර තිළිණ සුපුරුදු ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හැරියේ CR කණ්ඩායම ප්‍රබල අර්බුදයකට ඇද දමමිනි. (මහනුවර 21-03 CR)

විදේශීය විනිසුරුවරයෙක් මෙරටට පැමිණෙයි

ඩයලොග් රග්බි ලීගයේ මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග දෙකක් සඳහා විදේශීය..

19 වැනි මිනිත්තුවේ දී රොෂාන් වීරරත්න අලංකාර ලෙස පන්දුව ගුවනට මුසු කළ අතර ක්ෂණික තීරණයක් ගෙන පන්දුව හඹා ගිය ෂෙහාන් පතිරණ අලංකාර ලෙස ලකුණු රැස් කළේ ප්‍රතිවාදී ගැමුණු චේතිය මර්දනය කරමිනි. තිළිණ විජේසිංහ අලංකාර ලෙස සිය සිව්වැනි පා පහරත් සාර්ථක කර ගත්තේ මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණත් හිමිවෙද්දී. (මහනුවර 28-03 CR)

තිළිණ විජේසිංහ 24 වන මිනිත්තුවේ දී HIA වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පිටියෙන් ඉවතට ගිය අතර ඒහි වාසිය ද ගෙන රාහුල් ද සිල්වාගේ නුවණැති පන්දු යොමු කිරීමක් රැකගත් වජිඩ් ෆව්මි එක පිම්මකින් ලකුණු රැස් කරන්නට සමත් විය. ස්ටීවන් සිවරාජ් ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් විය. (මහනුවර 28-10 CR)

30 වන මිනිත්තුවේ දී ෂෙහාන් පතිරණ හා තරිඳු චතුරංග ආබාධ නිසා පිටියෙන් ඉවත් වුණේ මහනුවර කණ්ඩායමත් තරමක අර්බුදයක ඇද දමමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

33 වන මිනිත්තුවේ දී මහනුවර අර්ධයට පිවිසුණු CR ක්‍රීඩකයෝ සිවරාජ්ගේ පා පහරින් ලකුණු තුනක් රැස් කර ලකුණු සමඟ සිය අර්ධයට යන්නට සමත් විය. CR කණ්ඩායම දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණේ මහනුවර ක්‍රීඩකයින් පසු පදයට ඇද දමමිනි. 38 වන මිනිත්තුවේ දී මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩකයින් Scrum අවස්ථාවක දී කළ අතපසුවීමක් හේතුවෙන් CR කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වුණු අතර සිවරාජ් අලංකාර ලෙස ලකුණු රැස් කළේ CR කණ්ඩායම නැවත තරගයට රැගෙන එමිනි. (මහනුවර 28-16 CR)

පළමු අර්ධය මහනුවර ක්‍රීඩා සමාජය 28 (4T, 4C) – 16 (1T, 1C, 3P) CR & FC  ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ප්‍රබල ආක්‍රමණයක් සමඟින් ආරම්භ කරන්නට සමත් වූයේ CR&FC කණ්ඩායමයි. ඩික්සන්ගේ වේගවත් ධාවනයක් සමඟින් ඉදිරියට ඇදුණු CR ක්‍රීඩකයෝ මහනුවර අර්ධයේ දී දඬුවම් පහරක් දිනා ගත් අතර සිවරාජ් පහසුවෙන් ලකුණු රැස් කළේ මහනුවර ක්‍රීඩකයින් තවත් වෙහෙස කරමිනි. (මහනුවර 28-19 CR)

CR කණ්ඩායමට සාර්ථක පිළිතුරක් ලබා දෙමින් 47 වැනි මිනිත්තුවේ දී නැවත පිටියට පිවිසුණු තිළිණ විජේසිංහ සැමුවෙල් මධුවන්තගේ වැඩිම ලකුණු වාර්තාව ද ඉක්මවා යමින් අලංකාර දඬුවම් පහරකින් ලකුණු රැස් කරන්නට සමත් විය. (මහනුවර 31-19 CR)

50 වැනි මිනිත්තුවේ දී CR ක්‍රීඩකයින් සිය උත්සාහක දිනුම් සීමාව අසලටම යාමට සමත් වුනත් අවසන් තත්පරයේ ඔවුන් පන්දුව අතහැරියේ අවාසනාවන්ත ලෙසයි.

කෙසේ වෙතත් 55 වැනි මිනිත්තුවේ දී සුපිරි ධාවනයක යෙදුණු ජනිඳු දිල්ශාන්, විජේසිංහගේ බාධා කිරීමෙන් මිදී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. දෙවන අර්ධයෙන් පසුව පිටියට පිවිසුණු තරින්ද රත්වත්ත හා හරිත් බණ්ඩාර අලංකාර පන්දු හුවමාරු කිරීම් මගින් ජනිඳුට සහය වෙද්දී, තරින්ද අමතර ලකුණු රැස් කරන්නට සමත් විය. (මහනුවර 31-26 CR)

63 වැනි මිනිත්තුවේ දී අනුරුද්ධ විල්වර සුපිරි ධාවනයක් සමඟින් ඉදිරියට යාමට උත්සහ කළත් ගැමුණු චේතිය හා රෙහාන් සිල්වා එක්ව ඔහුව දක්ෂ ලෙස සීමාවෙන් පිටතට තල්ලු කර දමන්නට සමත් විය. හරිත් බණ්ඩාර, ගැමුණු චේතිය, ජනිඳු දිල්ශාන් වැනි නවක ක්‍රීඩකයින් CR වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කළේ මහනුවර දැඩි පීඩනයක හෙළමිනි.

අවසන් මිනිත්තු 10 දී CR ක්‍රීඩකයින් ප්‍රබල සටනක් ලබා දුන් අතර මහනුවර ක්‍රීඩකයින් සටන් කළේ විනිසුරුගේ ඔරලෝසුව සමඟයි.

කවිඳු පෙරේරා, කෙවින් ඩික්සන්, තරින්ද රත්වත්ත අලංකාර ධාවනයන් සමඟින් ලකුණු සඳහා යෑමට උත්සහ කළත් මහනුවර ක්‍රීඩකයින් කිහිප වතාවක්ම කෙසේ හෝ ඔවුන්ව නැවැත්වීමට සමත් විය.

පොලිස් පරදා, මහනුවර පසුකර හැව්ලොක් ලකුණු සටහනේ පළමු ස්ථානයට

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (3) ප්‍රබල හැව්ලොක්..

මහනුවර ක්‍රීඩකයින් 79 වැනි මිනිත්තුවේ දී Line out අවස්ථාවක් අසාර්ථක කර ගත් අතර ඉන් වාසිය ලබා ගත් CR ක්‍රීඩකයෝ 81 වැනි මිනිත්තුවේ දී ගෝල කණු ඉදිරියේම Scrum අවස්ථාවක් ලබා ගැනීමට සමත් විය. එය සාර්ථක කර ගත් ඔවුන් පියවරින් පියවර ඉදිරියට ඇදුණු අතර ප්‍රේක්ෂකයින් අසුනින් නැගිට්ටුවමින් අවසන් තත්පරයේ ඔමල්ක ගුණරත්න හට පන්දුව අත හැරුණේ මහනුවරට ජය හිමි කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 31 (4T, 4C, 1P) – 26 (2T, 2C, 4P) CR & FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – රොෂාන් වීරරත්න (මහනුවර)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • මහනුවර ක්‍රීඩා සමාජය – රොෂාන් වීරරත්න (1T), උචිත ජයසූරිය (T), අනුරුද්ධ විල්වර (1T), ෂෙහාන් පතිරණ (1T), තිළිණ විජේසිංහ (4C, 1P)
  • CR & FC ක්‍රීඩා සමාජය – වජිඩ් ෆව්මි (1T), ස්ටිවන් සිවරාජ් (1C, 3P), ජනිඳු දිල්ශාන් (1T), තරින්ද රත්වත්ත (1C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<