“ඉන්දු-ශ්‍රී ලංකා සංචිතය අපි තවම තෝරලා නැහැ” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

9124

එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තවමත් තෝරාගෙන නොමැති බවත්, එහි දී නායකත්වය තෝරාගැනීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා Daily FT පුවත්පත වෙත පවසා සිටිනවා.

එංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ එක්දින තරගාවලිය පිළිවෙළින් 3-0ක් ලෙස සහ 2-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. 

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේ එංගලන්තය බලා පිටව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද (5) දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන් පසුව සංචිතය ගැන අවසන් තීරණයක් ගන්නා බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

“ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි එක්දින තරගය ක්‍රීඩා කරලා ඊට පහුවෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට එනවා.  ඊට පස්සේ අපි ඉන්දීය තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නායකත්වය බැලුවොත් අපිට නායකත්වය තෝරන එක ගැටලුවක් නැහැ. මොකද අපි සංචිතයක් තෝරගත්තයින් පස්සේ තමයි එතැනින් හොඳ කෙනෙක් නායකයා විදිහට තෝරාගන්න ඕනේ.”

තවත් ක්‍රිකට් පුවත්:

“රොමේෂ් කලුවිතාරණ තමයි එංගලන්ත සංචාරය තේරීම් කටයුතු එහේ ඉඳගෙන බැලුවේ (selector on tour). අපේ තේරීම් කමිටුව සහ තාක්ෂණික කමිටුව අපේ පුහුණු කාර්ය මණ්ඩලයත් එක්කත් කථා කරලා මේ ගැටලු විසඳගෙන ඉදිරියට අපේ ක්‍රිකට් එක අරගෙන යන්නේ කොහොමද කියලා අපි ඉක්මනින් තීරණයකට එනවා” යැයි Daily FT පුවත් පත වෙත අදහස් දක්වමින් කියා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් තිබෙන සහ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා ගිවිසුම්ගත වුනු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මේ වන විටත් ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුලත්ව පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම සඳහා තවමත් කැමැත්ත පළ කර නොමැති දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි අත්දැකීම් බහුල ශ්‍රී ලංකා හිටපු නායකයින් එම ක්‍රීඩකයින් අතරට තවමත් කැඳවා නොමැත.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<