පොලිස් පරදා, මහනුවර පසුකර හැව්ලොක් ලකුණු සටහනේ පළමු ස්ථානයට

787

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (3) ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර ලකුණු 35-26ක් ලෙස තරගය ජය ගනිමින් ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. තරගය හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වි.

මහනුවර අභිමානය නැවතත් බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ පස්වැනි සතියේ තරග ආරම්භ කරමින් …

මේ තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජයට ඉතා වැදගත් වුණේ මහනුවර ක්‍රීඩා සමාජය ඊයේ CH&FC හමුවේ පරාජය වීම නිසා මෙම තරගය අමතර ප්‍රසාද ලකුණත් සමඟ ජය ගතහොත් ඔවුන්ට ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට අවස්ථාව තිබූ නිසාවෙනි.

පොලිස් ක්‍රීඩා සමාජයේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ඔවුන්ගේ ආරම්භය නම් එතරම් සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් 3 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය අන්දමන්ද කරමින් උදය සංජුල පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු රැස් කළේ පොලිස් කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. සචිත් සිල්වා පන්දුවත් සමඟ විශිෂ්ට ධාවනයක යෙදෙනු අතර එමොසි වුනිවොසා හට පන්දුව භාර දීමෙන් අනතුරුව එමොසි කල් යල් බලා කළ පන්දු හුවමාරුවෙන් සංජුල ලකුණු රැස් කරන ලදි. සචිත් සිල්වා හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. (පොලිස් 05-00 හැව්ලොක්)

6 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් සුපුරුදු පරිදි ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ අතර නිරෝෂන් ප්‍රනාන්දුගේ දිගු පන්දු යොමු කිරීමක් පහසුවෙන් ග්‍රහණය කර ගත් චාමර දාබරේ එක පිම්මකින් ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. රීසා මුබාරක් අපහසු ස්ථානයක සිට දර්ශනීය ලෙස අමතර ලකුණු රැස් කරගැනීමට සමත් විය. (පොලිස් 05-07 හැව්ලොක්)

පොලිස් ක්‍රීඩකයින් දිගින් දිගටම විනය විරෝධී ක්‍රියා සිදු කිරීම නිසා විනිසුරු කිහිපවතාවක්ම ඔවුන්ට අවවාද කළ අතර ඔවුන්ගේම අතපසුවීමකින් ලැබුණු දඬුවම් පහරක් Line out අවස්ථාවක් බවට පරිවර්තනය කර ගත් හැව්ලොක් ක්‍රීඩකයෝ 16 වැනි මිනිත්තුවේ දී ලකුණු රැස් කළේ දිනුක් අමරසිංහගේ සුරතිනි. රීසා පහසුවෙන් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (පොලිස් 05-14 හැව්ලොක්)

පොලිස් ක්‍රීඩකයින් වරින්වර අතපසුවීම් සිදු කරමින් ඉතා වැදගත් අවස්ථාවල දී පන්දුව හැව්ලොක් ක්‍රීඩකයින්ට පූජා කිරීම ඔවුන්ට ඉතා අවාසියක් විය.

29 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයින්ට මීටර 5 සීමාව තුළ ස්ක්‍රම් අවස්ථාවක් හිමි වූ නමුත් මුඅම්මර් ඩීන් පන්දුව අතහැරීම නිසා පොලිස් ක්‍රීඩකයින්ට ඉතා ආසන්න අවස්ථාවක් අහිමි විය.

ඉරෝෂන් සිල්වා හැව්ලොක් ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් නොමග යවමින් අධිවේගයෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ මීටර 20ක පමණ සුපිරි ධාවනයක යෙදෙමිනි. ජනිත් චන්දිමාල් අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (පොලිස් 12-14 හැව්ලොක්)

තරින්ද රත්වත්ත නැවත වතාවක් නාවික හමුදාවට හිසරදයක් වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (2) පැවැත්වුණේ ප්‍රබල …

ඉරෝෂන් සිල්වාගේ නොමඟ යැවීමට සිනහවකින් පිළිතුරු දුන් චාමර දාබරේ වේගවත් ධාවනයක් සමඟින් තවත් උත්සාහක දිනුමක් රැස් කළේ පොලිස් ක්‍රීඩකයින් අන්දමන්ද කරමිනි.

නැවත තරගාරම්භය සඳහා රීසාගේ පා පහරින් ඉහළ ගිය පන්දුව උදය සංජුල හා මුඅම්මර් ඩීන් අතරින් බිම පතිත වූ අතර පන්දුව හඹා ගිය චාමර පන්දුව රැකගෙන ලකුණු රැස් කළේ පොලිස් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද පුදුම කරමිනි. සුපිරි පා පහරකින් අමතර ලකුණු රැස් කිරීමට රීසා සමත් විය. (පොලිස් 12-21 හැව්ලොක්)

ඇසි පිය ගසන නිමේෂයකින් පොලිස් ක්‍රීඩකයින් නැවත ආක්‍රමණයේ යෙදුණු අතර පොලිස් නායකයා දඬුවම් පහරක් වෙනුවට ලබා ගත් ස්ක්‍රම් අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගනිමින් නිසල් සමාධි පළමු අර්ධය නිමාවට මොහොතකට පෙර පොලිසිය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. ජනිත් චන්දිමාල් පහසුවෙන් අමතර ලකුණු එකතු කරන ලදි. (පොලිස් 19-21 හැව්ලොක්)

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 19 (3T, 2C) – 21 (3T, 3C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ හැව්ලොක් ක්‍රීඩා සමාජය සිය සුපුරුදු ආක්‍රමණය දියත් කළ නමුත් 43 වැනි මිනිත්තුවේ දී ධවල රේඛාව ආසන්නයේ දී ම හැව්ලොක් ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් විය.

52 වැනි මිනිත්තුවේ දී ප්‍රබලතම හැව්ලොක් අවිය වන දැවැන්ත ඉදිරිපෙළ භාවිතා කරමින් දුෂ්මන්ත ප්‍රියදර්ශන උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් විනිසුරු තීරණය කළේ එය Held Up අවස්ථාවක් වූ බවයි.

57 වැනි මිනිත්තුවේ දී දිනුක් අමරසිංහ පොලිස් ක්‍රීඩකයින් තුන්දෙනෙක් පෙරළා දමමින් සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ දක්ෂ පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුවයි. රීසා තවත් අපහසු ප්‍රවර්තනයක් සුපිරි ලෙස සාර්ථක කර ගන්නට සමත් විය. (පොලිස් 19-28 හැව්ලොක්)

යුද ප්‍රහාරයෙන් ගුවන් බලඝණය වැලිසර දී අනතුරට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සති අන්තයේ තවත් තරගයක් ඊයේ (2) යුධ…

පිටියට පිවිසී මිනිත්තු තුනකට පසු අම්ජාඩ් ෆව්මි කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කරන ලදි. 68 වැනි මිනිත්තුවේ දී රිසිත් සිල්වා හට රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේ විනිසුරු හා වාදයකට පැටලීම හේතුවෙනි. ඒ සමඟ ඔවුන් ක්‍රීඩකයින් 13 දෙනෙකුට සීමා වීම පොලිස් ක්‍රීඩකයින්ට දරුණු අවාසියක් විය.

එහි වාසිය මනාව ප්‍රයෝජනයට ගත් මිතුන් හපුගොඩ ස්ක්‍රම් අවස්ථාවකින් පන්දුව ලබා ගෙන පහසුවෙන් ලකුණු රැස් කළ අතර රීසා මුබාරක් පහසුවෙන් අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (පොලිස් 19-35 හැව්ලොක්)

සිය ගෞරවය සඳහා සටන් කළ පොලිස් කණ්ඩායම වෙනුවෙන් උදාර සූරියප්පෙරුම 73 වැනි මිනිත්තුවේ දී පහසු උත්සාහක දිනුමක් රැස් කළ අතර එමොසි වුනිවොසා ඉක්මනින් ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ කාලය ඉතිරි කරමිනි. (පොලිස් 26-35 හැව්ලොක්)

තරගය තවත් උණුසුම් කරමින් 76 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩක රහල් දෙල්පචිත්‍ර හට ද කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කළේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් සම කරමින් වූ නමුත් එසැණින් තරගය නිමා වූයේ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ පළමු ස්ථානයට රැගෙන යමිනි.

ThePapare.com තරගයේ වීරයා – දිනුක් අමරසිංහ (හැව්ලොක්)

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 35 (5T, 5C) – 26 (4T, 3C) පොලිස් ක්‍රීඩා සමාජය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • පොලිස් ක්‍රීඩා සමාජය – උදය සංජුල (1T), ඉරෝෂන් සිල්වා (1T), නිසල් සමාධි (1T), උදාර සුරියප්පෙරුම (1T), එමොසි වුනිවොසා (1C), ජනිත් චන්දිමාල් (2C)  
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – චාමර දාබරේ (2T), දිනුක් අමරසිංහ (2T), මිතුන් හපුගොඩ (1T), රීසා මුබාරක් (5C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<