කමිඳුට ICC සම්මානයක්!

ICC Men's Player of the Month 2024

164
ICC Men's Player of the Month 2024

ගෙවී ගිය මාර්තු මාසය සඳහා ICCය විසින් පිරිනමනු ලබන මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා.

අයර්ලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Mark Adair සහ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Matt Henry අබිබවා යමින් ඔහු විසින් මෙම සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ඒ පිළිබඳ ඔහු මෙසේ සිය සතුට ප්‍රකාශ කර තිබුණා

“ICC මාර්තු මාසයේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීම හැකි වී පිළිබඳ මම ඉතා සතුටට පත් වෙනවා. මෙය මගේ ක්‍රිකට් ජීවිතයට විශාල ආශීර්වාදයක් ලෙසයි මම සලකන්නේ.

නිමා වූ බංග්ලාදේශ සංචාරයේ විස්සයි විස්ස තරගවල දී ලකුණු 68ක් රැස් කර ගැනීමට කමිඳු විසින් සමත් වූ අතර, ටෙස්ට් තරගාවලියේ දී තමන් කවුරුන් ද යන වග හොඳින් ම ලෝකයට වටහා දීමට කමිඳුට හැකියාව ලැබුණා.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමෙ කඩුලු 5ක් ලකුණු 57කට බිඳ වැටුණු මොහොතේ පිටියට පිවිසි කමිඳු, ධනංජය ද සිල්වා සමඟ ලකුණු 202ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනේ සිය මංගල ටෙස්ට් ශතකය ද වාර්තා කර ගනිමිනුයි.

එමෙන්ම තරගයේ දෙවැනි ඉනිමේ දී අංක අට පිතිකරු ලෙස පිටියට පිවිසි කමිඳු විසින් සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 164ක් වාර්තා කිරීමට සමත් වුනා.

2022 වසරෙන් පසුව නැවතත් ජාතික කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව හිමි වූ කමිඳු මෙවර තමන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් මෙම සම්මානය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම ගෙවුණු මාසයට අදාළ නොවූවත් ඔහු විසින් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ද පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වමින් තරගයේ වීරයා සම්මානය පවා දිනා ගැනීමට සමත් වුනා.

මේ අනුව ICC මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් තෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට ද කමිඳු මෙහි දී සමත් වූ අතර, ඔහුට පෙර ප්‍රභාත් ජයසූරිය සහ වනිඳු හසරංග ද මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<