දියාරු අතුරු කමිටු එපා.. ඇමති අර්ජුනට ලියුමක්

103

ජාතික නිදහස් ක්‍රීඩා පදනම සහ සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා (Save the sports in Sri Lanka) මෙරට ක්‍රීඩාවේ අභිවෘර්ධිය සඳහා පෙනී සිටින ස්වේච්ඡා සංවිධාන දෙකකි.

හිටපු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩා වෘත්තිකයින් සහ ක්‍රීඩා ලෝලීන් එක්ව පිහිටුවා ගත් මෙම සංවිධාන දෙකේ මූලික අරමුණ වනුයේ ක්‍රීඩාවේ උන්නතිය උදෙසා බලපෑම් කණ්ඩායමක් ලෙස සාධනීව පෙනී සිටීමයි. යහපාලනය සහ සුපිළිපන්න බව සුරක්ෂිත කරන ක්‍රීඩා සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ බිහිවනු දැකීමද අපගේ අපේක්ෂාව වේ. සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් පුහුණුකරුවන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය සමඟද අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන අපගේ තේමා පාඨය වන්නේ “ක්‍රීඩාවේ අනාගතය පැහැබරයි….” යන්නයි. 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ඔබතුමාට මෙම ලිපිය ලියන්නේද එම තේමා පාඨය පදනම් කර ගනිමිනි.

2014 දෙසැම්බර් පළමුවැනිදා, ඔබතුමාගේ උපන්දිනය දා, යහපාලනය පදනම් වූවත්මන් ආණුඩුව පිහිටුවීම සඳහා ඔබතුමාගේ සහාය නිල වශයෙන් හිමි වූ දිනයයි. එදින කොළඹ විහාර මහාදේවී උද්‍යානයට පැමිණි ඔබතුමා නව රටක් බිහි කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කරන විට අපි දැඩි සේ සන්තෝෂයට පත් වුණෙමු. නව ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යධුරය භාර ගෙන ක්‍රීඩාව නව මඟකට යොමු කරනු ඇතැයිද අපි එදා අපේක්ෂා කළෙමු. එහෙත් එකී අපේක්ෂාව ඉටු වූයේ නැත. ඊටත් වඩා වැදගත් වූ ජාතික වගකීමක් ඔබතුමාට පැවරිණ. වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස එම වගකීම ඉටු කිරීමේදී ඔබතුමාට ක්‍රීඩාව කෙරෙහිද වෙනදා මෙන් අවධානය යොමු කිරීම කාලය නැති බවද අපි දනිමු. එහෙත් අදටත් අප විශ්වාස කරන්නේ ක්‍රීඩාව, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශානතියට යොමු කිරීම උදෙසා ඔබතුමාගේ සක්‍රීය මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි. අවම වශයෙන් ක්‍රිකට් පරිපාලනයට හෝ පිවිසෙන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාවේ සිව්වැනි ආගමයි. 1996 වසරේදී ඔබතුමා නායකත්වය දුන් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය උදා විය. ඒ සඳහා පුරෝගාමී මෙහෙයවරක් ඉටු කළ ඔබතුමාට ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති අයිතිය අවිවාදිතය. එහෙත් පසුගිය ආණ්ඩු සමයේදී දේශපාලන මැදිහත්වීම් සහ දේශපාලන බලහත්කාරය මත නුසුදුසු පුද්ගලයින් සහ හෙංචයියන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවලට පැමිණි බව ඔබතුමාටත් අපටත් රහසක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සඳහා කළුකඩ මුදලාලිවරුන් පිවිසියේද එකී දේශපාලන ආශිර්වාදයේ පිහිටෙනි.හුදු දේශපාලන ප්‍රචාරකවාදී ව්‍යාපෘති සඳහා ක්‍රිකට් ක්‍රීඩාව යොදාගත් හිටපු පාලකයින්ට අවනත නොවන පිරිස් ක්‍රීඩා පරිපාලනයෙන්ද නෙරපා හැරිණ. ඒ සඳහා ඔවුන් මුදාහැරි ක්‍රෑරත්වයේ තරම කොතරම්දැයි 2008 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිව සිටි ඔබතුමාද දන්නා බව අප නොදන්නවා නොවේ. එදා 2008 වසරේදී, ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් මුදල් යහමින් ලැබෙන අයි. පී. එල්. තරගාවලියට නොව රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බවට ඔබතුමා දැඩි තීරණ ගනිද්දී ක්‍රිකට් මුල් පුටුව ඔබතුමාට අහිමි වූයේ එම දේශපාලන ක්‍රෑරත්වය නිසා බව අපේ හැඟීමයි. වාසනාවකට යහපාලනය පදනම් කරගත් වත්මන් ආණ්ඩුව යටතේ එවැනි කටුක අත්දැකීමකට ඔබතුමා කිසිම දිනක මුහුණ නොදෙන බව අප අවංකව විශ්වාස කරන්නෙමු.

ගරු මැතිතුමනි, ඔබතුමා ප්‍රමුඛ ක්‍රිකට් විරුවන් එදා ගොඩනැඟූ ක්‍රිකට් ක්‍රීඩාව අද ගොදුරුව සිටින්නේ දැඩි ව්‍යවසනයකට වේ. සුපුරුදු පරිදි මෙවරත් ලෝක කුසලානය දිනා ගැනීමේ අවස්ථාව අපේ රටට අහිමි විය. දැනට පවතින තත්ත්වය මත ඉදිරියේදී, තව අවුරුදු 50කින්වත් අපේ රටට ලෝක කුසලානයක් දිනා ගැනීම අති දුෂ්කර වනු ඇත. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ටී. එම්. ඩිල්ෂාන් සමුගැනීමෙන් පසුව කණ්ඩායම මෙහෙය වීමේ වගකීම භාරගත හැකි දෙවැනි පෙළක්ද අප සතුව නැත. අන්තර් සමාජ මට්ටමේදී පමණක් නොව පාසල් මට්ටමේදීද ක්‍රිකට් ක්‍රීඩාවට අද ඇත්තේ අඩු ඉල්ලුමකි. ක්‍රීඩා ලෝලීහුද ක්‍රිකට් සංස්කෘතියෙන් ඈත් වෙමින් සිටිති. මෙවර ලෝක කුසලානය සහ අනුශූරතාව ඕස්ට්‍රේලියා – නවසීලන්ත කලාපයට හිමි වීමෙන් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආසියාව දිනා ගෙන සිටි ප්‍රමුඛත්වයද බටහිර ජාතීන් වෙත යළිත් හුවමාරු වෙමින් පවතී. අප අමතක නොකළ යුතු වැදගත්ම කරුණ වන්නේ පසුගිය වසරේ සිට ක්‍රියාත්මක අයි. සී. සී. නව යෝජනාවලට මුවා වී නවසීලන්තයද ඇතුළත් එංගලන්ත – ඕස්ට්‍රේලියා ක්‍රිකට් මාෆියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වැඩි බලය දැනටමත් උදුරා ගෙන සිටීමයි.

වර්ෂ 1996දී ඔබතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම දිනා ගත්තේ ලෝක කුසලානය පමණක්ම නොවේ. එය බටහිර ජාතීන් වගා කළ ක්‍රිකට් ආධිපත්‍යයට එරෙහිව දියත් කළ සාමකාමී අරගලයේ විශිෂ්ටතම ජයග්‍රහණයයි. සමාජයේ සුපිරි ධනපන්තිය පමණක් තම භුක්තියට ලියා ගත් ක්‍රිකට් ක්‍රීඩාව පොදු ජන ක්‍රීඩාවක් බවට පත් කළ මහා විප්ලවයේ අග්‍රඵලයයි. ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුනරුදයටද එම ජයග්‍රහණය ආලෝකයක් විය. 96න් පසුව ආසියාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් පරිපාලනයේදීද අපේ රටට හිමි වූයේ අද්විතීය ස්ථානයකි.එහෙත් අවාසනාවකට පසුගිය කාලයේදී ඉන්දියාව සහ බටහිර රටවල් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් දැක්වූ නිවට ස්වරූපය හේතුවෙන් එම අද්විතීය ස්ථානය අහෝසි වී ගොස් ලෝක ක්‍රිකට් පරිපාලනයේදී අපේ රට තඹ සතයේ කාසියක් බවට පත් විය.

1996න් පසුව පොදු ජනතාවාදී ක්‍රිකට් සංස්කෘතිය අපේ රටේ ගොඩ නැඟුණේ අහම්බයකින් නොවේ. දැඩි අභියෝග මැද ඉතා අපහසුවෙන් ගොඩනඟා ගත් එම සංස්කෘතිය රැක ගැනීම වෙනුවට අපේ රටේ ක්‍රිකට් නිලධාරීන් දැන් කරනුයේ ලෝක ක්‍රිකට් මාෆියාව හමුවේ එකී සංස්කෘතිය අමු අමුවේ පාවා දීමයි. පොදු ජනතාව සඳහා ක්‍රිකට් නොව, මුදල් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව යන න්‍යාය මත කටයුතු කරමින් ලුම්පන් පන්තියේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමයි. 2011දී පමණක් නොව 2015දීද එනම් මේ වසරේදීද ලෝක කුසලානය දිනා ගැනීම සඳහා පැහැදිලි දැක්මක් හෝ සැලැස්මක් ඔවුනට නොවීය. ක්‍රිකට් තරගවල විකාශන අයිතිය පාලක පන්තියේ අවශ්‍යතා මත හැසිර වීම සහ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම වැනි දෙවැනි පන්තියේ ව්‍යපෘති මහත් වූ ඕනෑකමින් ඔවුහු ඉටු කළහ. දැන් යහපාලන ආණ්ඩුවේ අලුත්ම ක්‍රීඩාව වී ඇත්තේ අතුරු කමිටු හරහා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීමට උත්සාහ කිරීමයි. ඉතා පැහැදිලිවම අද ක්‍රිකට් ක්‍රීඩාව ගරා වැටී ඇත. නමුත් ජාතියේ වාසානාවට ක්‍රිකට් ක්‍රීඩාව තවමත් කඩා වැටී නැත. අප හමුවේ ඇති අභියෝගය වන්නේද ගරා වැටුණු මේ ක්‍රිකට් ක්‍රීඩාව, කඩා වැටීමට පෙර නැවත නඟා සිටුවීමයි.

ගරු මැතිතුමනි, ක්‍රකිට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය නැවත උදා කිරීම සඳහා දැන් අපට උදා වී ඇත්තේ ඓතිහාසික අවස්ථාවකි. ක්‍රිකට් ක්‍රීඩාව වැනසූ රාජපක්ෂ පාලනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. අප අත් විඳින්නේ යහපාලනය සහ සුපිළිපන්න බව පදනම් කර ගත් ආණ්ඩු පාලනයකි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයද පැවැත්වේ. අපේ අවංක හැඟීම වන්නේ විනාශ වී ගිය ක්‍රිකට් ක්‍රීඩාවේ යහපාලනය සහ සුපිළිපන්න බව නැවත ස්ථාපිත කිරීම සඳහා ඓතිහාසිකව හිමි වූ හොඳම අවස්ථාව උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත යුතු බවයි. එම අවස්ථාව මඟ නොහැර ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් කිරීම සඳහා පෙරමුණ ගන්නා ලෙස අපි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. යහපාලන ආණ්ඩුවේ අතුරු කමිටු ප්‍රතික්ෂේපක කර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නායකත්වය දෙන ලෙසටද අපි ඉල්ලා සිටිමු. අප මේ ඉල්ලීම සහ ආරාධනාව කරන්නේ ඔබතුමා මේ වන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධුරයක් දැරීම නිසා නොවේ. අපේ රටට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දුන් එකම ක්‍රිකට් නායකයා වීම නිසාය. පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වීම නිසාය. මේ නිසා තවදුරටත් නිහඬව නොසිට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඓතිහාසිකව පැවරුණු වගකීම ඔබතුමා ඉතා ඕනෑකමින් ඉටු කරනු ඇතැයි අපි අපෙක්ෂා කරන්නෙමු. එම දැවැන්ත මෙහෙයුම සඳහා 96 ජයග්‍රාහී කණ්ඩායමේ සගයන්ද එක් කර ගන්නා ලෙස අපි ඔබතුමාට ආරාධනා කරන්නෙමු. ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසද අපි කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

 

ජාතික නිදහස් ක්‍රීඩා පදනම

සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා

විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය

සමස්ත ලංකා පාසල් පුහුණුකරුවන්ගේ සංගමය

සමස්ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය