සුදුසුකම් ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස අබේසිංහ සිංහ ලීලාවෙන් ලෝක පිහිනුම් තරගාවලියට

135

ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේ පැවැති තෝරා ගැනීමේ තරගයකට සහභාගි වූ මැතිව් අබේසිංහ මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්පර 50.87කින් නිම කරමින් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය.

එනම් මැතිව් අබේසිංහගේ මෙම දස්කම හේතුවෙන් ලෝක ශූරතා පිහිනුම් තරගාවලියට අදාළ “බී” කාණ්ඩයේ පරිසාධන මට්ටම ඉක්මවා තිබීම නිසා ඔහුට ලෝක ජල ක්‍රීඩා සංගමයේ (FINA මෙහෙයවීමෙන් මෙම වසරේදී කසාන්හි පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගි වීමේ වරම් ලැබී ඇත.

මෙවර ලෝක ශූරතා පිහිනුම් ශූරතාවලියට මීටර් 100 නිදහස් ආර ඉසව්වේ ජල ක්‍රීඩා සංගම් “බී” කාණ්ඩයේ පරිසාධන මට්ටම තත්පර 51.12ක් ලෙස සඳහන් වුවද එම “බී” කාණ්ඩයේ පරිසාධන මට්ටම අභිභවා ඔහු තත්පර 50.87කින් තරගය නිමකළ අතර මැතිව් අබේසිංහගේ එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය තත්පර 50.86කි. පසුගිය වසරේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ජාතික වාර්තාව බිහිකළ මැතිව් මෙසේ ලෝක ශූරතාවලියකට සුදුසුකම් ලැබූ ප්‍රථම ලාංකිකයා ලෙස විශේෂත්වයක් දරන්නේ මින් පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක පිහිනුම් ශූරතාවලියකට ශ්‍රී ලාංකිකයන් සහභාගි වී ඇතත් ඔවුන් සෑම දෙනාම එම වරම් ලබාගත්තේ සෘජුවම සුදුසුකම් ලබා නොව සහනදායි පදනම මත නොහොත් වයිල්ඩ්කාඩ්ස් (wildcards) පදනම මතය

කිලර් වේල් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දින 2ක් පුරා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගවලට සහභාගි වූ මැතිව් ආසියානු ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යයකු වන අතර ඔහු වර්තමානයේදී පුහුණුව ලබන්නේ ඔහුගේ පියා වන මනෝජ් අබේසිංහ මහතා යටතේ වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්‍ෂ පිහිනුම් ක්‍රීඩකයකු වන ජුලියන් බෝලිං තැබූ වසර 20කට වඩා පැරැණි ජාතික වාර්තාද බිඳ දමමින් වර්තමානයේදී පිහිනුම් වාර්තා රැසකට හිමිකම් කියන මැතිව් අබේසිංහ තරගාවලිය අවසානයේ පවසා සිටියේ ලෝක ශූරතා තරගාවලියේදී “ඒ” කාණ්ඩයේ පරිසාධන මට්ටමටද ළඟාවී එළැඹෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තමන් කටයුතු කරන බවයි.