ඉන්දියානුවන් දෙදෙනෙකු පරදා කාලිංග රන් දිනයි

ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය -2021

257

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ කාලිංග කුමරගේ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අද (28) සමත් වුනා.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු රන් පදක්කම මෙය වන අතර තරගයේ අනෙකුත් ක්‍රීඩකයන් සමඟ වැඩි පරතරයක් තබා ගත් කාලිංග තරගය අවසන් කිරීමට සමත් වුනේ තත්පර 45.73ක කාලයකිනි.

ඔහු එම තරගය නිමා කිරීමට ගත් කාලය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම මෙරට ක්‍රීඩකයෙකු මීටර් 400 ඉසව්ව සඳහා වාර්තා කළ සිව්වැනි හොඳම කාලය ලෙස ද සටහන් වුනා.

තරගයේ දෙවැනි ස්ථානය තත්පර 46.83ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දිය ක්‍රීඩක Vikrant හට හිමි වූ අතර තත්පර 47.25ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දිය ක්‍රීඩක Sarthak තෙවැනි ස්ථානය දිනා ගත්තා.

කාලිංගට අමතරව මෙරට ක්‍රීඩිකා නදීෂා රාමනායක කාන්තා මීටර් 400 අවසන් තරගය සඳහා ඉදිරිපත් වූ නමුත් තරගය තත්පර 54.37ක කාලයකින් පස්වැන්නා ලෙස අවසන් කිරීමට ඇයට සිදු වුනා.

තරගාවලියේ සිව්වැනි දිනය වන අද වන විට රන් පදක්කමක් (කාලිංග කුමාරගේ), එක් රිදී පදක්කමක් (අමාෂා ද සිල්වා) සහ ලෝකඩ පදක්කම් ද්විත්වයක් (නිමාලි ලියනආරච්චි සහ ලක්ෂිකා සුගන්ධි) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට (29) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලානි රත්නායක (මීටර් 3000 බාධක), මේධානි ජයමාන්න (මීටර් 200), කාලිංග කුමාරගේ (මීටර් 200) සහ මීටර් 100 කාන්තා සහය දිවීමේ කණ්ඩායම සිය අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<