තියුණු සටනකින් පසු නිමාලිත් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙයි

ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය -2021

131

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අද (27) පැවති කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ එම ඉසව්වේ ජාතික ශූරී නිමාලි ලියනආරච්චි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

සවස් වරුවේ පැවති එම තරගය අවසානයේ තියුණු සටනකින් පසු ඉන්දිය ක්‍රීඩිකා Shalu Chau අභිබවමින් තෙවැනි තැනට පැමිණීමට නිමාලි සමත් වූ අතර ඇයට මෙම තරගය නිමා කිරීමට මිනිත්තු 2:05.69ක කාලයක් ගත වුනා.

එම තරගයේ පළමු ස්ථානය මිනිත්තු 2:02.57ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දිය ක්‍රීඩිකා Harmilan Bains විසින් දිනා ගත් අතර දෙවැනි ස්ථානය ඉන්දිය ක්‍රීඩිකා Chanda හට හිමි වුනා (මිනිත්තු 2:03.36).

අද උදෑසන වරුවේ පැවති මීටර් 400 මූලික වටයේ තරගයට සහභාගී වූ කාලිංග කුමාරගේ තත්පර 46.88ක කාලයකින් පළමුවැන්නා ලෙස තරගය අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම කාන්තා මීටර් 400 මූලික තරගය තත්පර 54.65ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කළ ජාතික ශූරී නදීෂා රාමනායක ද කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර එම තරගයේ දී ඇය විසින් ආසියානු රන් පදක්කම්ලාභී (මීටර් 400X4 සහය දිවීම – 2018) ඉන්දිය ක්‍රීඩිකා V.K.Vishmaya පරාජය කිරීම ද කැපී පෙනුණෘ.

මීට අමතරව සවස් වරුවේ පැවති පිරිමි මීටර් 200 මූලික වටයේ තරගයට ද සහභාගී වූ කාලිංග කුමාරගේ එම තරගය තත්පර 21.16ක කාලයකින් පළමුවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුනා.

පසුගිය 25 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ සිව්වැනි දිනය වූ අද වන විට ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් (ලක්ෂිකා සුගන්ධි සහ නිමාලි ලියනආරච්චි) සහ එක් රිදී පදක්කමක් (අමාෂා ද සිල්වා) දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

තරගාවලියේ සිව්වැනි දිනය වන හෙට (28) දිනයේ දී කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක මීටර් 400 අවසන් තරගවලට සහභාගී වීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<