Justin Langer ඕස්ට්‍රේලියාවට සමුදෙයි

5406
Justin Langer

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Justin Langer එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඔහුට මාස හයක සේවා දීර්ඝ කිරීමක් ලබා දීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණ ද, Langer එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

Justin Langerගේ මෙම තීරණය ඔහුගේ කළමනාකරණ සමාගම වන DSEG විසින් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා. ඒ පසුගිය සිකුරාදා (04) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟින් පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි.

අපගේ සේවාදායකයා වන Justin Langer ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීම අද උදෑසන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා. මෙම ඉල්ලා අස්වීම ඊයේ සවස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගෙන තිබෙනවා. එමෙන්ම මෙම ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වනවා”, DSEG විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nick Hockley මේ පිළිබඳව අදහස් දක්වමින් තහවුරු කර තිබුණේ Justin Langer විසින් ඔහුට ලබා දුන් මාස හයක දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඒ අනුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු එක් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පවසා සිටියා.

ක්‍රිකට් ආයතනය විදිහට අපි බලාපොරොත්තු වුනා Justin Langer මව්බිමේ දී විස්සයි විස්ස ලෝක කුසලානය ආරක්ෂා කර ගැනීමට අපිත් එක්ක සිටීවි කියලා.  නමුත් අපි ඔහුගේ තීරණය තේරුම් ඇරන් තියනවා. ඒ වගේම ඒකට අපි ගරු කරනවා”, Hockley පවසා සිටියා.

පසුගිය වසරේ මැද භාගයේ දී අපි අභියෝගාත්මක සංවාද කිහිපයක් එක්ක කටයුතු කළා. අපි දැන් වඩාත් කල්පනාකාරීව කණ්ඩායමේ අනාගතය ගැන හිතන්න ඕනේ. අපි Justin Langer ආරම්භ කළ ගමන ගැන හිතද්දී සහ කණ්ඩායම දැන් ඉන්නේ කොතැනද කියලා හිතද්දී අපි ලොකු වර්ධනයක් ලබාගෙන තියනවා. ඔහු කණ්ඩායම ගෙන ආ මේ ගමනට අපි ණයගැතියි. ඒකට අපි ඔහුට සම්පූර්ණ ගෞරවය ලබා දෙනවා. දැන් අපිට සංක්‍රාන්ති කාල පරිච්ඡේදය ආරම්භ කිරීමට කාලය ඇවිල්ලා තියනවා.”

Justin Langerගෙන් හිස් වූ පුහුණුකාරීත්වයට ජ්‍යෙෂ්ඨ සහකාර පුහුණුකරු ලෙස කටයුතු කළ Andrew McDonald තාවකාලිකව පත්කර තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා Justin Langer විවේක ගැන්වීමට මීට පෙර තීරණය කර තිබූ අතර එම තරගාවලිය සඳහා Andrew McDonald පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණා.

Justinගේ තීරණයට පෙර ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟින් පැය 8ක දීර්ඝ සාකච්ඡාවකට එක්ව තිබුණා. එහි දී ඔහුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග තහවුරු කර තිබුණා. Justin Langerගේ වත්මන් කොන්ත්‍රාත්තුව එළඹෙන ජුනි මාසයේ දී අවසන් වීමට නියමිතව තිබූ අතර ඔහු දිගුකාලීන සේවා දිගුවක් අපේක්ෂා කර තිබුණා.

” Justin පසුගිය වසර හතර තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කැපී පෙනෙන දියුණුවක් පෙන්වන්න සමත් වුනා. ඔහු කණ්ඩායම කෙරෙහි විශ්වාසය නැවත ඇති කරන්න සමත් වුනා. පසුගිය වසර හතර තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට්වලට ලබා දුන්න සෑම දෙයකටම Justinට සහ ඔහුගේ පවුලේ අයට මම අවංකවම ස්තූති කරනවා. ඒ වගේම ඒ සඳහා අපි සදාකාලිකව කෘතඥ වෙනවා”, Nick Hockley පවසා සිටියා.

Justin Langerගේ පුහුණුකාරිත්වය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අළු බඳුන තරගාවලිය ද තරග 4-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<