වෙළඳසේවා රග්බි ශූරතාවය ජෝන් කීල්ස් A කණ්ඩායමට!

50 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

501

ශ්‍රී ලංකා වෙළඳසේවා රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන 50 වැනි වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි හා අවසන් දිනය ඊයේ (24) CR&FC ක්‍රීඩා පිටියේ දී අවසන් වුනේ ජෝන් කීල්ස් A කණ්ඩායම ශූරයින් වෙමින්.

ජෝන් කීල්ස් ක්‍රීඩක අවිශ්ක ලී අවසන් මොහොතේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ලකුණු 10-07ක් වශයෙන් 3DH International පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණය කරන්නට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් වුනා.

ජෝන් කීල්ස් කණ්ඩායමේ රිචඩ් ධර්මපාල තරගය ආරම්භයේ දී ම පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ ආක්‍රමණය තමන් සතු කර ගත්තා.

නමුත් එයට පිළිතුරු සැපයූ ගැමුණු චේතිය 3DH International කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ පළමු අර්ධයේ අවසානයේ දී ලකුණු තත්වය 07-05ක් වශයෙන් 3DH කණ්ඩායම ඉදිරියෙන් තබමින්.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩා විලාශය ඉතා උද්වේගකර වූ අතර 3DH කණ්ඩායමට කහ කාඩ්පත් කිහිපයකින් දඬුවම් ලැබීමට සිදු වුනේ ඔවුන්ගේ ක්‍රීඩා විලාශයේ අක්‍රමිකතා හේතුවෙනි.

එයින් මනා ප්‍රයෝජන ගත් ජෝන් කීල්ස් කණ්ඩායමේ අවිශ්ක ලී අවසන් මොහොතේ ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළේ ජෝන් කීල්ස් කණ්ඩායමට කුසලාන කාණ්ඩයේ ජය ගෙනෙමින්.

පලඟ ශූරතාවයේ අවසන් තරගයට Dialog Axiata කණ්ඩායම සහ ජෝන් කීල්ස් B  කණ්ඩායම ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 17-14ක් වශයෙන් ජය ගැනීමට Dialog Axiata කණ්ඩායම සමත් වුනා.

එහි දී ජෝන් කීල්ස් B කණ්ඩායම වෙනුවෙන් ඉශාන් ප්‍රනාන්දු වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එයට පිළිතුරු සැපයූ මිතුන් හපුගොඩ පළමු අර්ධය අවසන් වීමට මොහොතකට ප්‍රථම Dialog Axiata වෙනුවෙන් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළා. ප්‍රථම අර්ධය අවසානයේ දී ලකුණු 7-5ක් වශයෙන් ජෝන් කීල්ස් B කණ්ඩායම ඉදිරියෙන් සිටියා.

දෙවැනි අර්ධය ආරම්භ වූ විගස මිතුන් හපුගොඩ නැවතත් ක්‍රියාත්මක වෙමින් අනුරාධ හේරත්ට පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඉඩ හසර සකසා දුන්නේ තරගයේ පීඩනය ජෝන් කීල්ස් කණ්ඩායම වෙත හරවමින්.

නමුත් චතුර සොයිසා ජෝන් කීල්ස් B කණ්ඩායම වෙනුවෙන් වේගවත් ධාවනයක නිරත වෙමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ වාසිය නැවතත් තම කණ්ඩායම දෙස කරවා ගත්තා.

එයින් මෙල්ල නොවුණු නිශෝන් පෙරේරා මිතුන් හපුගොඩගේ උපකාර ද ඇතිව අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් Dialog Axiata කණ්ඩායමට පලඟ ශූරතාවය ජයග්‍රහණය කිරීමට මග සැකසුවා.

බඳුන ශූරතාවය වෙනුවෙන් කරට කර ගැටුණු සම්පත් බැංකු කණ්ඩායම සහ බ්‍රැන්ඩික්ස් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 17-12ක් වශයෙන් තියනු ජයක් වාර්තා කිරීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් වුනා.

පලිහ ශූරතාවය වෙනුවෙන් ක්‍රීඩා කළ ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම සහ සෙලින්කෝ රක්ෂණ සමාගම අතර තරගයෙන් ලකුණු 05-00ක් වශයෙන් තියනු ජයක් අත්කර ගන්නට ෆෙයාෆස්ට් කණ්ඩායමට හැකි වුනා.

එසේම කාන්තා ටැග් රග්බි තරග තුලින් අවසන් තරගයට ක්‍රීඩා කළ CDB කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 20-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගන්නට CDB කණ්ඩායම සමත් වුනා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<