Archertට නවසීලන්ත සංචාරය අහිමි වෙයි

130

වැළමිටෙහි ඇති වූ ආබාධය සුව නොවීම නිසාවෙන් එංගලන්තය වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී කර නොගැනීමට තීරණය කළ බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (16) තහවුරු කළා.

පසුගිය දා Kent කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි ඉනිමේ පන්දුවාර පහක් පමණක් යොමු කිරීමෙන් පසු Archer සිය දකුණු වැළමිටේ වේදනාවක් ඇතිවූ බව වෛද්‍ය බලධාරීන් වෙත ප්‍රකාශ කර තිබුණා.

අතෙහි ඇතිවූ කැපුමකට ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා නිමා වූ ඉන්දීය විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වූ Archer ශල්‍යකර්මය සිදු කිරීමෙන් පසු ඔහුගේ දීර්ඝ කාලීනව වැළමිටෙහි තිබූ ආබාධය සුව වීම සඳහා විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් වෛද්‍ය බලධාරීන් කටයුතු කළා.

තවත් ක්‍රිකට් පුවත්:

එම නිසාවෙන් ඔහුට මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර County Championship තරගාවලියේ පළමු තරග ක්‍රීඩා කිරීමට ද ඔහුට අවස්ථාව හිමිවුනේ නැහැ.

කෙටි කාලීන විවේකයකින් පසු Sussex කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසි Archer කෙන්ට් කණ්ඩායමට එරෙහි තරගයේ පළමු ඉනිමේ දී කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ නමුත් තරගයේ අවසන් දින දෙකෙහිදී ඔහු පන්දු යැවීමෙන් වැළකී සිටියා.

“එංගලන්ත සහ Sussex වෛද්‍ය කණ්ඩායම් විසින් Archer හට සිය ආබාධය සුව කරගැනීමට අවශ්‍ය කටයුතු සඳහා මඟපෙන්වීමක් ලබා දෙනවා. ඒ වගේම ඉදිරි වෛද්‍ය ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කිරීම සඳහා ඔහුව මේ සතිඅන්තයේ දී වෛද්‍ය උපදේශකයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<