හිටපු ලන්ඩන් මැරතන් ශූරයාට දිගු කාලීන තහනමක්!

172
Reuters Staff/Reuters

තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් තාවකාලික තහනමකට ලක්ව සිටි හිටපු ලන්ඩන් මැරතන් තරගයේ ශූරයෙකු වන කෙන්යානු මලල ක්‍රීඩක Daniel Wanjiru හට වසර හතරක තරග තහනමක් පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය තීරණය කර ඇත.

තහනම් උත්තේජක නීති උල්ලංඝනය කරමින් තහනම් ද්‍රව්‍යයන් භාවිතා කිරීම පිළිබඳව වරදකරු වීම නිසාවෙන් පසුගිය අප්‍රේල් මාසයේ දී ඔහුට තාවකාලික තහනමක් පැනවීමට තීරණය කළ අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම තහනම පැනවීමට තීරණය කළ බව මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය ඊයේ (14) නිවේදනය කරන ලදි.

ඒ අනුව ඔහුට 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා සිට 2023 වසරේ දෙසැම්බර් මස දක්වා මලල ක්‍රීඩාවට සම්බන්ධ සියලූම ක්‍රියාකාරකම් තහනම් වන අතර ඊට අමතරව 2019 මාර්තු සිට ඔහු විසින් දිනා ගත් පදක්කම් ඇතුළු සියලූම ජයග්‍රහණ ඔහුට අහිමි වනු ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්

 

 

මේ වන විට 28 වැනි වියේ පසුවන Wanjiru 2013 වසරේ පැවති Karlovy Vary Half Marathon තරගය ජය ගනිමින් දිගුදුර ධාවනයේ දස්කම් දැක්වීමට ආරම්භ කළ අතර ඔහු පිළිවෙළින් 2015 සහ 2016 වසරවල Prague Half Marathon තරගය ද ජය ගැනීමට සමත් විය.

එම ජයග්‍රහණවලින් පසුව ඔහු 2016 වසරේම පැවති Amsterdam Marathon තරගය ජය ගැනීමට සමත් වූ අතර පසුව ඔහු විසින් 2017 වසරේ සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය පැය 2:05.48ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කරන්නට සමත් වූවත් ඉන්පසු සිය ජයග්‍රාහී රිද්මය එකදිගට පවත්වා ගැනීමට ඔහු සමත්වූයේ නැත.

මෙම තහනම් උත්තේජක ගැටලුව නිසාවෙන් මෙම වසර තුළ කෙන්යානු ක්‍රීඩකයන් රැසකට තරග තහනම් නිකුත් කිරීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකට කටයුතු කළ අතර මැරතන් ඉසව්වේ පෙර ලෝක වාර්තාවට හිමිකම් කියූ Wilson Kipsang හට ද වසර හතරක තහනමක් පැනවීමට ද එම ඒකකය කටයුතු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<