හිරුණි ලෝක ශූරයන් සමඟ සටනකට

217

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිගු දුර ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ මලල ක්‍රීඩිකාවක් වන හිරුණි විජයරත්න මෙම සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති ලෝක ශූරතා අර්ධ මැරතන් තරගයට සහභාගි වීමට සූදානමින් පසුවේ.

මෙම මස 17 වැනිදා (සෙනසුරාදා) පෝලන්තයේ Gdynia හිදී මෙරට වේලාවෙන් පස්වරු 2.30 පමණ මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇති අතර පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙවර ලෝක අර්ධ මැරතන් ශූරතාවය සුපිරි ක්‍රීඩක කාණ්ඩයට පමණක් සීමා කර පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම වසරේ මාර්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් මෙම මස 17 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කළ අතර මෙවර තරගාවලිය සඳහා සිය සහභාගීත්වය පිළිබඳව තහවුරු කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරුණි විජයරත්න සඳහන් කර තිබුණේ තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් තරගයකට සූදානම් බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරමින් සිය පුහුණුවීම් කටයුතුවල නිරත වන හිරුණි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික වාර්තා රැසක්ම පිහිටුවීමට සමත් වී තිබෙන අතර පසුගිය අගෝස්තු මාසයේ දී මීටර් 5,000 ඉසව්ව මිනිත්තු 16:17.51ක කාලයකින් අවසන් කරමින් එහි ජාතික වාර්තාව ද සියතට ගැනීමට ඇය සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්

මීට අමතරව ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයට සහභාගි වෙමින් 11 වැන්නා ලෙස තරගය නිමා කිරීමට සමත් වූ අතර නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය ජය ගනිමින් දකුණු ආසියානු ශූරිය බවට පත්වීමට ද ඇය වාසනාවන්ත විය.

මෙරටින් පිටත වාසය කරමින් මෙරට දිගුදුර ධාවන නාමය ජාත්‍යන්තර තලයේ රැඳවීමට සමත් වූ හිරුණි මෙරටට ලෝක මට්ටමේ පදක්කමක් ගෙන ඒමට හැකියාවක් ඇති ඉතා දක්ෂ ක්‍රීඩිකාවකි. මෙම සතිඅන්තයේ දී ඇය සහභාගී වන එම තරගයෙන් ඉහළ දස්කම් දක්වා මෙරටට ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඇයට ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<